Thursday, December 10, 2015

මතකයි..

දැහැන්ගත වූවා සේ..
දෑස් පියන් බිමට සලා
සන්සුන් කර මා නෙත්..
සෙමින් පියවර තබලා
පොත් මල්ලත් තුරුල් කරන්..
සුදු ගවුමින් සැරසීලා
නුඹ එනවා පන්තියට..
තාමත් මතකයි....
----
සමීර සම්පත්.

Quote

ප්‍රශ්න ඇති ජීවිතයක් ප්‍රතික්ෂේප කිරීම,ජීවිතය ද ප්‍රතික්ෂේප කිරීමකි.
----
සමීර සම්පත්.

Wednesday, September 30, 2015

ආදරය

හේතුවක් නැතුව 
ආදරය කළ හැකි වුවද,
හේතුවක් නැතුව 
ආදරය කිව හැකිද..
----
සමීර සම්පත්.

සිහින

සිහින දහයක්වත් සැබෑ කරගන්න..
සිහින දාහක්වත් දකින්න..
----
සමීර සම්පත්.

වෙනස

සැන්මාර්කෝ වලින් 
නැගි රොකොට්ටුවක්
තරු සොයා යන විට..
සුඩාන් වල ළමයි 
කුසට ආහාර වේලක් 
සොයා ඇවිදිති ..
වෙනසක අරුමය
අප්‍රිකාව..
----
සමීර සම්පත්.

රසවිඳීම

රසිකයා යනු 
මාතර - කොළඹ 
බස් එකක radio එකෙන් 
ඇහෙන බජව්වක් ද,
ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහිදී 
opera ශාලාවේ
වැයෙන opera වක් ද,
රූපවාහිනියේ විකාශනය වන
mega ටෙලිනාට්‍යක් ද,
ටවර් hall එකේ රඟ දැක්වෙන
වේදිකා නාට්‍යක් ද,
රසවිඳීමට හැකි
තැනැත්තාය..
----
සමීර සම්පත්.

ආදරය බොළඳයි..

සොඳුරිය..
මම හීනයක් දැක්ක..
ඇස් ඇරගෙන නෙවෙයි..
ඇස් වහගෙන..
ඇස් ඇරගෙන ඔයාව දැක්කෙ දුරින්..
ඇස් වහගෙන ඔයාව දැක්කෙ ළඟින්..
ඒක හරි පුදුමයි..
ඇස් වලට ඇස් ළං කරගෙන
අපි මොනවාද මොනවාද කතා කරා..
ඒ මොනවාද කියල නම් මතක නෑ..
හැබැයි ඔයාගෙ ඇස් වල තිබ්බ
ආදර බැල්ම..
හැබෑ ජීවිතයේදී දැකල තිබ්බෙත් නෑ..
අයිත් කියනව..
ඒක හරි පුදුමයි..
උදේ අවදි වෙනකොටම
අපුල යථාර්ථය මා දිහා බලාගෙන
හිනාවෙනවා..
ඒ හිනාවට ප්‍රතිචාර නො දක්වා
අර හීනෙට මම පෙම් බඳිනවා..
----
සමීර සම්පත්.

මල්

අන් සතු වුන මල්
අන් සතු වුනාවෙ..
පොහොට්ටු තියෙන තුරු 
මල් පිපේවි.. 
----
සමීර සම්පත්.

කවි

හිරු-සඳු-තරු-මල් 
හැමකල් පවතිනා තුරා..
කවියෝ කවි ලියති 
සදාකල් පිටු පුරා..
----
සමීර සම්පත්.

වෙරළක සිට මහල්ලෙක්

බැස යන කල
හිරු අසිරිය..
සිහිවෙයි අතැර 
ගිය හිමිදිරිය..
නිතර මුණගැසුණු
උදවිය..
අතර සිටි සුවිශේෂි
දැරිවිය..
ගෙවනවා ජීවිතේ
මැදිවිය..
----
සමීර සම්පත්.

බලා හිඳිමි

ශීත කාලය එළැඹිණි..
ඉහිලුම් නො දෙන
ශීත කුණාටු හමයි..
හිම කැට පිරුණු 
නපුරු සුළි සුළං හමයි..
වසන්තය එන තුරු
බලා හිඳිමි..
----
සමීර සම්පත්.

නොරිකො

ගිනි පෙට්ටි ඇතුලෙ 
ආදරය සඟවපු..
සකුරා මල් කුමාරිය 
නොරිකො....
අපි මුණගැසී..
තෙවසරකට පසුව
මට නුඹව මතක් විය..
දෙවෙන්දොරාට හොරෙන්
මම නුඹට..
තවම පෙම් කරමි
----
සමීර සම්පත්.

නිලංජනා

ගිණි අව්වට රත් වී ගිය
පාර දිගේ..
කොහඹ ගස් සෙවණ තිබුණත් 
දෙපස දිගේ..
හැමදාමත් සුපුරුදු ලෙස 
පාසල නිම වී නිවසට
සෙමින් සෙමින් අඩි තියනව
නිල් මල් මල් සාරිය ඇඳි
නිලංජනා..
----
සමීර සම්පත්.

Monday, May 11, 2015

Quote

''When you are discontent, you always want more, more, more. Your desire can never be satisfied. But when you practice contentment, you can say to yourself, 'Oh yes - I already have everything that I really need.''
''ඔබ අතෘප්තිමත් වූ විට,ඔබට හැමතිස්සෙම අවශ්‍ය වන්නේ ඕනෙමයි,ඕනෙමයි,ඕනෙමයි බව.ඔබේ ආශාව තෘප්තිමත් කළ නො හැකියි.ඒත් ඔබ සෑහීමට පුරුදු වූ විට,ඔබට කියන්න පුළුවන්,'අපොයි ඔව්-මට සැබෑ ලෙස අවශ්‍ය හැම දෙයක්ම ඕනම වෙලාවක මා ගාව තියෙනව.''
----
dalai lama(දලයි ලාමා)

Friday, May 1, 2015

කම්කරු දිනය

එදා කම්කරු දිනය
වැඩ කරන්නන්ගේ
දිනය විය..
අද කම්කරු දිනය
වැඩ කරවන්නන්ගේ
දිනය නොවේ ද..
----
සමීර සම්පත්.

Tuesday, April 28, 2015

අප දෙදෙනා

සඳ එළියට රන් මුදු දිළෙනා
සොඳුරු රැයක දී අප දෙදෙනා
ආදරයෙන් එක් වූ ලෙසිනා
සිටියේ කෙලෙස ද,ඔබ ඔහු හා
----
සමීර සම්පත්.

Sunday, April 12, 2015

අවුරුදු සිරි

----
එරබදු ඉති වල මල් විකසිත       වෙනවා
අත්තේ ලැග කොවුලා ගී          ගයනවා
දොං දොං ගා රබාන හඬ            දෙනවා
සට පට ගා රතිඤ්ඤා රැව්           දෙනවා

කැවුම් කොකිස් මුං තෙලේ     නටනවා
ගමේ ගෙවල් හැම කල එළි      වෙනවා
අවුරුදු සිරි හැම තැන        පැතිරෙනවා
මුළු රට නැකතට එකමුතු         වෙනවා

(සංදේශය කියවන සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා..!)
----
සමීර සම්පත්.

Friday, April 10, 2015

අම්බලමේ පිනා


 ''අම්බලමේ  පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා
ඒකට මට හිනා''

මෙය කුඩා ළමයාගේ සිට වැඩිහිටියා දක්වා අපි හැමෝම දන්නා කට වහරේ ඇති ජන කවියකි.මෙම කවිය නිර්මාණාත්මක ලෙස දිගු කර මුල් කවියේ අර්ථයට සාපේක්ෂව වෙනස් වූ අපූරු අර්ථයක් හැඟවෙන ලෙස රචනා කරන ලද කවි පෙළක් පසු ගිය දා එනම්,2015-04-09 වන බ්‍රහස්පතින්දා දිවයින වටමඬල අතිරේකයේ පල විය.එය මෙසේ ය,

අම්බලමේ පිනා

අම්බලමේ පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා
නොවනු එයට හිනා

තව දිනයක පිනා
කදත් රැගෙන එනා
පුරුදු පරිදි ගොනා
කද බිඳගෙන යනා

ඉන් නොසැලෙන පිනා
කරබාගෙන එනා
යළිදු වළං තනා
කදත් රැගෙන යනා

මහ මඟ එන පිනා
දුටුව පරණ ගොනා
පිම්මෙන් දිවගෙනා
යයි කද බිඳගෙනා

දුකම පුරුදු පිනා 
යළිදු  ගෙදර එනා
තණ මිටියක් මනා
කද බැඳගෙන එනා

ඔහුව දැකපු ගොනා
හෙමිහිට ළං වුණා
තණ මිටියට ගොනා
කෙමෙන් වසඟ වුණා

හීන්සැරේ පිනා
මිතුරු කරන් ගොනා
යළි නිවසට එනා
කරත්තයක් තනා

අම්බලමේ පිනා
වළං ගැලකි ගෙනා
ඒක අදින ගොනා
ඒකට මට හිනා....

සුදේශ් කවීශ්වර
කැලණිය විශ්වවිද්‍යාලය
(2015-04-09/දිවයින-වටමඬල)

මෙහි දී කවියා මුලින්ම කරන්නේ සම්ප්‍රධායික මුල් කවියේ හතරවන පදය වෙනස් කිරීමයි.එනම් 'ඒකට මට හිනා' යන්න 'නොවනු එයට හිනා' ලෙස යි.ඉන් පසුව සමස්ත පැදි පෙළම නිර්මාණය වන්නේ ඒ වෙනස මත පිහිටා ය.ඒ අනුව ඊළඟ කවියෙන් කියවෙන්නේ පිනා නැවත වළං කදත් රැගෙන එන බව යි.එය සාම්ප්‍රධායික කවියේ තිබ්බ ආකෘතියටම අනුව ශබ්ද රසය රකිමින් ඉතා රසවත්ව කවියා පවසන්නේ මෙසේ ය.

තව දිනයක පිනා
කදත් රැගෙන එනා
පුරුදු පරිදි ගොනා
කද බිඳගෙන යනා

ඒ අවස්ථාවේ දී ද ගොනා ඇවිත් වළං කඳ බිඳියි.නමුත් එයින් නො සැලෙන පිනා නැවත වළං කදක් රැගෙන පුරුදු මාවතේම යයි.කවියා එය සරල බස් වහරින් පවසන්නේ මෙසේ ය.

යළිදු වළං තනා
කදත් රැගෙන යනා

මේ අනුව පළමු කවි හතරෙන්ම කියවෙන්නේ පිනා වළං කද රැගෙන ඒමත් ගොනා එය බින්ඳීමත් ය.අවස්ථා හතරක දී උගත් පාඩමට අනුව පිනා මෙම ගැටලුවෙන් මිදීමට අලුත් උපක්‍රමයක් භාවිතා කරයි.ඒ අනුව පිනා වළං කදේ වළං වෙනුවට තණ කොළ අරගෙන එයි.
  
දුකම පුරුදු පිනා  
යළිදු  ගෙදර එනා
තණ මිටියක් මනා
කද බැඳගෙන එනා

වළං දුටු විට හානි කිරීමට දිව එන ගොනා තණ මිටි දැකපු ගමන් එසේ එන්නේ නැත.පිනාගේ මෙම අපූරු උපක්‍රමය සාර්ථක  වෙයි.ඒ අනුව තණ කොළ නිසා ගොනාව හීලෑ කර ගැනීමට පිනාට හැකි වේ.

හීන්සැරේ පිනා
මිතුරු කරන් ගොනා

දැන් ඉතින් ඉස්සර ඉඳන් අමාරුවෙන් වළං කද කරේ තියාගෙන ගිය පිනාට එසේ දුක් විඳීමට අවශ්‍ය නැත.ඔහු ඒ වෙනුවට ගොන් කරත්තය භාවිතා කරයි.කවියා එය රසිකයාට චිත්ත රූප මැවෙන ආකාරයට පවසන්නේ මෙසේ ය.
  අම්බලමේ පිනා
වළං ගැලකි ගෙනා
ඒක අදින ගොනා 
ඒකට මට හිනා....

සම්ප්‍රධායික කවියේ හතර වන පද පේළිය එනම්,'ඒකට මට හිනා' යන්න කවියා මෙහි අවසාන කවියේ හතර වන පද පේළියට උපහාසාත්මකව භාවිත කරයි.එයින් පෙනෙන්නේ කවියා උපතින්ම ගෙනා ප්‍රතිභා ශක්තිය යි.තවද කවියක තිබිය යුතු ප්‍රසාද ගුණය නැති නම් පැහැදිලි බව සුදේශ් කවීශ්වර කවියාගේ මෙම සමස්ත පැදි පෙළ තුළම දක්නට ඇත.ඒ අනුව මුල් කවියට වඩා වෙනස් අකාරයකින් අම්බලමේ පිනාගේ කතාව මේ විදියට නිර්මාණය කිරීමෙන් පෙනී යන්නේ කවියා නිතර කවි කියවන-රසවීඳින-අධ්‍යනය කරන ඉතා හොඳ පරිකල්පනයක් ඇති කෙනෙකු බවයි.
----
සමීර සම්පත්.

Wednesday, April 8, 2015

ඩියාගෝ ගාර්සියා(diego garcia)

ඩියාගෝ ගාර්සියා යනු දූපතකි.නමුත් එය ගස්-වැල්,මල්-පළතුරු,සත්තුන්ගෙන් පමණක් සමන්විත පාරදීසයක් නොවේ.ඒ වෙනුවට මෙහි බහුලව ඇත්තේ පතොරම්,බෝම්බ,අවි,ප්‍රහාරක ගුවන් යානා,මිසයිල වැනි දේවල් යැයි කීවොත් වඩා නිවැරදි ය.ඊට හේතුව අද වන විට මෙම දූපත එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක කටයුතු සඳහා යොදා ගන්න බැවිණි.මෙය පිහිටා තිබෙන්නේ මධ්‍යම ඉන්දීය සාගරයේ දකුණු සමකයට ආසන්නව ය.ටැන්සානියාවේ සිට සැතපුම් 2167 ක් නැගෙනහිරින් ද,ඉන්දියාවේ සිට සැතපුම් 1116 ක් දකුණු-නිරිත දිගින් ද,ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයේ සිට සැතපුම් 2935 ක් දුරින් ද මෙම දූපත පිහිටා තිබේ.



මෙය කුඩා දූපත් 60 න් සමන්විත චාගෝස් දූපත් සමූහයේ විශාලම දූපතයි.ප්‍රංශය යටතේ තිබ්බ මෙම දූපත් නැපෝලියන් යුද්ධයෙන් පසුව ක්‍රි.ව.1814 දී අත්සන් කරන ලද පැරීස් ගිවිසුමට අනුව එක්සත් රාජධානියේ පාලනයට නතු විය.එතැන් පටන් ක්‍රි.ව.1965 දක්වා මෙය එක්සත් රාජධානියේ ජනපදයක් බවට පත්විය.ඉන් පසුව ක්‍රි.ව.1966 දෙසැම්බර් 30 දින සිට 2016 දෙසැම්බර් දක්වා වන වසර 50 ක කාලයක් ආරක්ෂක අරමුණු සඳහා භාවිතා කිරීමට එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය ගිවිසුමකට එකඟ විය.



එම ගිවිසුම තවත් වසර විස්සකින් එනම්,2036 දක්වා දීර්ඝ කර ගැනීමට 2014 දෙසැම්බර් වල දී රටවල් දෙක අතර සාකච්ඡා ඇති විය.මෙහි ප්‍රහාරක ගුවන් යානා ගුවන් ගත කර හැකි ගුවන් පතයක් ඇති අතර
ප්‍රහාරක සබ්මැරීන් සහ නැව් ගාල් කර හැකි වරායක් ද ඇත.අදවන විට මෙහි එක්සත් ජනපදයට අයත් අති නවීන ප්‍රහාරක ගුවන් යානා හා සබ්මැරීන ස්ථාන ගත කොට ඇත.1991 දී ඇති වූ ගල්ෆ් යුද්ධයේ දී වගේම විවිධ අවස්ථා වල දී ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ පැවති යුධ ගැටුම් සඳහා අවශ්‍ය ආරක්ෂක සහය එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය මෙම දූපතේ ඇති ඔවුන්ගේ කඳවුරු වලින් ලබා ගෙන ඇත.



මෙය ඉන්දීය සාගරයේ බ්‍රිතන්‍යය ප්‍රදේශය (British Indian Ocean Territory) ලෙස ද හඳුන්වයි.මෙහි 3000-5000 ත් අතර ජනගහනයක් පවතින අතර ඔවුන් හමුදා හා සිවිල් වැසියන්ගෙන් සමන්විත වේ.තවද,ත්‍රස්තවාදයට සම්බන්ධ සැකකරුවන් ද මෙහි රඳවා ගෙන ඇතැයි ද සැලකේ.ඒ අනුව 2004 දී ඇමරිකාව විසින් ගෙන යන ලද ''ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුද්ධය(Global War On Terror)'' වැඩසටහනේ දී අත් අඩංගුවට පත් වූ පුද්ගලයින් රඳවා තබා ගැනීමට හා වධ හිංසා කිරීමට මෙම දූපත භාවිතා කර බවට මත පල විය.ඒවා අදටත් රහස් පමණි.ඒ අනුව ඩියාගෝ ගාර්සියා යනු ඉන්දියන් සාගරය ඇතුළු දකුණු ආසියාතික කලාපයේ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය සතු විශාලම ආරක්ෂක මධ්‍යස්ථානය ලෙස හැඳින්වීම වඩා නිවැරදි ය.
----
සමීර සම්පත්.

Friday, April 3, 2015

සෙබෙස්තියන්ගේ හදගැස්ම

----
සීතල හිම වැටෙන
මේ ඇල්ප්ස් කන්දේ
අම්මාගේ උණුසුමයි
මං හෙව්වේ..

''කෙසාරුයි ඇන්ජෙලීනයි
කිව්ව..
අම්මා ආයෙත් එන්නෙ නෑ
කියල..
සදහටම..''

ඒත් මට දැන් තනි නෑ..
නුඹ ඉන්නවනෙ බේල්..
ඒ ඇති..
----
සමීර සම්පත්.

Tuesday, March 31, 2015

ජීවිතෙන් පැත්තක්

නන්නත්තාර වූ
ජීවිතය;
ජීවිතය සොයා
ගිය කල
හමුවිය,
භාව කම්පනය කරන
රොක් ස්වරයක්
සහ
බෝතලයක්
සමඟ දුමක්
----
සමීර සම්පත්.

Saturday, March 28, 2015

Quote

''The truth is you don't know what is going to happen tomorrow.life is a crazy ride,and nothing is guaranteed.''
''ඇත්ත ස්වාභාවය නම් ඔබ හෙට සිදුවන්නට යන්නේ කුමක් ද කියා දන්නේ නැත.ජීවිතය විකාර සවාරියක් යෑමක් වගේ වන අතර,කිසිම දෙයක් සහතික කර නැත.''
----
eminem(එමිනෙම්)

Monday, March 23, 2015

සඳ ඇවිත්

සඳ ඇවිත් අහසට
නුඹව මතක් කරනවා..
අතීතයෙන් බිඳෙන් බිඳ
මවමින් දෑස් ඉදිරි පිට..
විටින් විට,
හිරු අහසට එනතුරු..
----
සමීර සම්පත්.

Saturday, March 21, 2015

මිහිතලය


ගලක ගැටෙනා
දිය රළක හැඩතල
නීල අහසේ
කුරුලු ගීතය
විලක පිපෙනා
මලක වර්ණය
වනයට අභිමන්
සිංහ නාදය
පෙන්වා දෙයි
ජීවිතේ අසිරිය
----
සමීර සම්පත්.

Quote

''Don't compare yourself with anyone in this world..if you do so,you are insulting yourself.''
''මේ ලෝකයේ කිසිම කෙනෙක් සමඟ ඔබව සංසන්දනය කරන්න එපා...ඔබ එසේ කරනවා නම්,ඔබ ඔබට අපහාස කරමින් සිටිනවා.''
----
bill gates(බිල් ගේට්ස්)

Friday, March 20, 2015

ජීවිතේ

පාර තොටේ
ගිනි දූවිලි අතර
තරණය කරමින්
ජීවිතේ කතර
වැටෙන දහඩිය
පිච්චෙයි නිතර
----
සමීර සම්පත්.

Thursday, March 19, 2015

Quote

''However difficult life may seem,there is always something you can do and succeed at.''
''ඔබට ජීවත් වීම අමාරු ලෙස පෙනුනත්,සාර්ථකත්වය සඳහා කළ හැකි යමක් සෑම විටම පවතී.''
----
stephen hawking(ස්ටෙෆන් හොව්කින්)

Monday, March 16, 2015

අපි


නො සිතූ මොහොතක
නො පැතූ මොහොතක
ඇසට ඇස දී
වෙන්ව ගිය අපි,
නො සිතන මොහොතක
නො පතන මොහොතක
ඇසට ඇස දී
මුණගැසෙයි යළි
----
සමීර සම්පත්.

Sunday, March 15, 2015

රාත්‍රිය


රාත්‍රියට සවන් දුන්නෙමි
මොහොතකට.
පළඟැටි හඬ පමණයි
ඇසුනේ දෙසවනට,
ඒ කත් වියැකිලා ගිය
කල හෙමිහිට.
අමුතු හැඟීමක් ආවා
මගෙ හිතට.
කොළයයි පෑනයි
ගෙන අතට,
ලිව්වෙමි එය
මේ ලෙසට.


''ශබ්දය මිහිරි ය,
නිෂ්ශබ්දය සුමිහිරි ය.''

----
සමීර සම්පත්.

ප්‍රේමය හැඳින්නෙමි..

                                    

ලෝකයේ බිහි වී ඇති බොහෝ කලා කෘතීන් වලට තේමාව වී ඇත්තේ 'ප්‍රේමය' බව අපි කවුරුත් දන්නා කරුණකි.ඒ අතරිනුත් ගීත කලාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන බව අවිවාදිතය.නිර්මාණකරුවාට ප්‍රේමයේ සැබෑ මනෝභාවය දැනුන සහ හැඟුන විදිය ප්‍රතීයමාන වන ගීත,සිංහල ගීත සාහිත්‍යයේ ද අපට අපමණව හමුවේ.ප්‍රේමය ඉතා සංකීර්ණ මනෝභාවයක් වූ අවස්ථා වල දී දැනෙන හැඟෙන හැමදෙයක්ම වචන වලට පෙරළීම ඉතා දුෂ්කර කාර්යයකි.ඒ අනුව ලියැවුණු සරල පද සහිත පෙම් ගීත ද,සංකීර්ණ පද සහිත පෙම් ගීත ද අපිට නිරතුරුව ඇසෙති.ඒ අතරිනුත් ඉතාම සරලව සහ පැහැදිලි විදියට සැබෑ ප්‍රේමයේ මනෝභාවය මේ තරම් විශිෂ්ට විදියට ලියැවුණු තවත් සිංහල ගීතයක් ඇති ද,
                                   
                                ''ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා..
                                  ඔබේ කතා ළඟ සිත නැවතුනු දා..
                                  ප්‍රේමය හැඳින්නෙමි..''

ඇත්තටම ප්‍රේමයේ සිතුවිලි වල ආකර්ශනය ප්‍රථමයෙන්ම ඇතිවන්නේ රූපයට ය.ඒ භාවයන් පිටට නො පෙනන නිසා විය හැකි ය.තරුණියක් නම් කඩවසම් තරුණයකුට ද,තරුණයෙක් නම් සියුමැලි තරුණියකට ද ඇලුම් කිරීම රූපයේ එම ප්‍රබල බව විදහා දක්වයි.සැබෑ ප්‍රේමයේ උප්පත්තිය සිදුවන්නේ එලෙස තමා කැමති සුන්දර රූපය ළඟ සිත නතර වූ විට ය.ගීතයේ පළමු පද තුනෙන් අර්ථවත් වන්නේ එය යි.ජගත් වික්‍රමසිංහයන් එම අර්ථය අපි කාටත් සමීපව දැනෙන ලෙස ගායනා කරයි.මෙම ගීතයට අපි කවුරුත් කැමති ඒ නිසා ය.අතීතයේ දී යුධ වීරයන්ගේ කතා වගේම ප්‍රේම වීරයන්ගේ කතා ද අපට හමුවෙයි.රෝමියෝ-ජුලියට්,ජැක්-රෝස්,කුස-පබා,ජෝදා-අක්බර් කවුරුත් දන්න හඳුනනා නිදසුන් වේ.නමුත් මෙම ගීතයේ පද රචකයා ඒ කිසිවෙක් මායිම් නො කරයි.ඔහුගේ එකම වීරයා තමාමයි.ලෝකයේ හොඳම ආදරවන්තයා තමා බව ඔහු තම නෙත් සිත් ගත් ආදරවන්තිය හට කියයි.
                     
                                 ''කුමට ද උපමා ඉතිහාසේ උන්
                                   ප්‍රේමවන්තයින්ගෙන්..''

ප්‍රේමයට නිශ්චිත ආරම්භයක් හෝ නිශ්චිත අවසානයක් නැත.ඒ සමහර අයගේ සිත් වල පෙම් හැඟීම් ජීවත්ව සිටියදීම මරණයට පත් වන නිසාවෙනි.ඒ ව්‍යාජ පෙම් හැඟීම් වේ.පෙම් සිතුවිලි ඉතාම විචිත්‍රවත් ය.සුපහන් ය.ඒ බව දන්නේ අවංක ප්‍රේමවන්තයින්ම පමණය.සැබෑ ප්‍රේමණීය හැඟීම් වල අවසානයක් දැකිය නො හැකිය.එහි අවසානය මරණය දක්වාම දිව යන්නකි.එම සංකීර්ණ ප්‍රේමණීය මනෝභාවයන් වල ස්වාභාවය වචන වලට පෙරළමින් ඉතා අපූරු ලෙස කාව්‍යාත්මකව රචකයා ගීතයේ අවසන් පැදි පෙළෙන් විදහා දක්වයි.

''ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා..
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා..''

මෙම ගීතය සිංහල ගීත සාහිත්‍යයේ දී අපට හමුවන ප්‍රේමයේ සැබෑ අර්ථය පරිග්‍රහණය කර ගත්ත ගීතය ලෙස හඳුන්වන්නේ නම් වඩා නිවැරදි ය.
----
සමීර සම්පත්. 

Friday, March 13, 2015

නුඹ


නෙතු රසවත් කරමින්
සිත් හැඟුමන් නිවමින්
භාවනාවක් වගේ දෑස්
බිමට යොමා ගෙන
මා හට නුදුරින්
සුවඳ විහිදමින්
ඔබ ගියේ..
ආදරේ පතුරා..
හදවත පුරා..
මලක් සේ..
දැන්,

නුඹ ද ජීවිතේ
ජීවිතේ නුඹ ද.
----
සමීර සම්පත්.

Tuesday, March 10, 2015

ආලය

වැහි බිඳු වැටෙති මේ රෑ
වහලයට
සට සට ගා සුමිහිරි
තාලයට
මතකය ඇදී ගියා
නුඹ දුටු ඒ
කාලයට
ළඟ නැති වුනත්
ඔය නෙත් තමයි රිසි
ආලයට
----
සමීර සම්පත්.

Monday, March 2, 2015

ඡායාරූපශිල්පයේ උපත (birth of photography) - 02

ඩැගුයුරේ ටයිප් කැමරාව (daguerreotype camera)
                                                                  
                                                ලුවිස් ඩැගුයුරේ(louis daguerre)
                                                                        
ජෝශප් නිසෙපෝර් නීට්සේ (joseph nicephore niepce) විසින් කරපු පර්යේෂණ අභාසයට ගනිමින් ක්‍රි.ව.1839 දී ප්‍රංශ ජාතිකයකු වූ ලුවිස් ඩැගුයුරේ(louis daguerre) විසින් ඩැගුයුරේ ටයිප්(daguerreotype) නමින් වඩා සාර්ථක ක්‍රමයක් ලොවට හඳුන්වා දෙන ලදි.මෙම ක්‍රමය ලොව වටා පමණක් නොව ලංකාවේ ද,ඡායාරූපශිල්පයේ ප්‍රවර්ධනයට හේතු විය.එය ලෝකයේ පළමු වාණිජමය කැමරාව බවට පත් විය.

                                                    daguerreotype camera 
                                                                              

මෙහි විශේෂත්වය වූයේ සුමට රිදී ආලේපිත තඹ තහඩුවක් අයඩීන් වාෂ්ප සමඟ ගැටීමට සලස්වා-එම තහඩුව මත සිල්වර් අයඩීන් ස්ථරයක් තනා ගෙන-එම තනා ගත් තහඩුව කැමරාවේ රූප සංවේදිකය(image sensor) ලෙස යොදා ගෙන ඡායාරූප ගැනීමයි.මෙම ඡායාරූපයක් සඳහා අනාවරණ කාලය(exposure time) පැය හතරක් පමණ විය.ඒ මඟින් ලැබුණු රූපය දුර්වල එකක් වූවත් එය රස දිය වාෂ්ප වලට අල්ලා ඡායාරූපයක් සාදා ගැනීමට ඩැගුයුරේට හැකි විය.
                     එම රූපය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක බහාලීමෙන් අනතුරුව ස්ථාවර කර ගැනීමට ඔහුට හැකි විය.ඉන් පසුව ඔහු එම ක්‍රමය කාච(lenses) යොදා ගැනීමෙන් වැඩි දියුණු කර ගන්නා ලදි.ඒ අනුව පසුව ගත් ඡායාරූපවල අනාවරණ කාලය(exposure time) තත්ත්පර 15ක්(15 seconds) දක්වා අඩු කර ගැනීමට ඔහුට හැකි විය.නමුත් එම ඡායාරූප වලත් ප්‍රධාන දෝෂයක් විය.එනම්,පාර්ශවික අපවර්තනයක්(රූපයේ වම-දකුණ මාරු වීම) දැකිය හැකි වීම යි.පසුව මනා ලෙස දර්පණ භාවිතා කර ගැනීමෙන් ඔහු විසින් මෙම දෝෂය මග හරවා ගන්නා ලදි.ඔහුගේ ක්‍රමයේ තිබුණු තවත් ප්‍රධාන අඩු පාඩුවක් වූයේ ඡායාරූපයේ පිටපත් ගැනීමට නො හැකි වීම යි.

මතු සම්බන්ධයි..
  
-----
සමීර සම්පත්.
                                                                                                                                                                                                                                            

Tuesday, January 27, 2015

මරණය

මරණය මහ ලොකු
දෙයක් ද?
මේ භවයේ දීම
මිනිසුන්
නො මැරී-මැරී
ඉපිදෙන විට
----
සමීර සම්පත්.

Sunday, January 25, 2015

බැස යන හිරු (කෙටි කතාව)

---------
හැන්දෑවෙ හතරාමාර විතර වෙද්දි එගොඩවත්ත මාවතේ පිහිටි මගේ නිවසින් පිටවෙලා වැල්ලදේවාල මාවත දිගේ උණවටුන වෙරළට ගිහින්-මුහුදු වෙරළේ ඇවිදල කරල-නැවත නිවසට එන එක,දැන් අවුරුදු තුනාමාරක් තිස්සෙ ඉඳල වගේ,මගේ දෛනික ජීවිතේ පුරුද්දක් වෙලා.වෙන දවස් වලට නම් හත විතර වෙද්දි ගෙදර එනව.ඒ ඇඟ-පත එහෙම හෝදගෙන ලෑස්ති වෙලා ටී.වි එකේ හතාමාරට යන නිව්ස් බලන්න ඕනෙ නිසා.මොකද,නිව්ස් බැලුවෙ නෑ කියන්නෙ එදා රෑට කෑවෙ නෑ වගේ තමයි.
ඒත් අද ගෙදර එන කොට බිත්ති ඔරලෝසුවේ සටහන්ව තිබ්බ වෙලාව දැක්කම මං පුදුම වුණා.වෙලාව නමයයි පහයි.වෙලාව ගිහින් දැනුනෙවත් නෑ..ඒක වුනේ මෙහෙමයි,අද මං ගෙස්ට් හවුස් එකකට වෙලා අඹ බීම වීදුරුවක් පානය කරමින් නිල් පාටට දිළිසෙන මුහුද රතු පාටාට බබළවමින් හිරු බැස යන හැටි බාලා ගෙන හිටිය.ටික වේලාවකට පස්සෙ විදේශීය කාන්තාවක් මගේ මේසය ළඟට ආව.පෙනුමෙ හැටියට නම් අවුරුදු හතලිස් පහක් විතර ඇති.

''මං මෙතනින් ඉඳගන්න ද?''යි ඇය සිනා මුසු මුහුණින් ඇහුව.

මං මොහොතක් පුදුම වී ඇය දෙස බලා ගෙන හිටියෙ ඇය සිංහලෙන් කතා කරපු නිසා.

''කමක් නෑ..ඉඳගන්න''යි මං කිව්ව.

''ස්තූතියි''

ඉන් පසුව ඇය වේටර්ට කියල බීම වීදුරුවක් ඇනවුම් කරා.

''මං පුදුම වුනා ඔබ තුමිය සිංහලෙන් කතා කිරීම ගැන''යි මං කිව්ව.

''හහ්..හා..ඒකට පුදුම වෙන්න එපා..මොකද මං දැන් අවුරුදු පහක් තිස්සෙ ඉඳන් ලංකාවෙ ඉන්නෙ.''යි ඇය මද සිනා ඇතිව කිව්ව.

''ඇත්තට..''

''ඔව්..දැන් මාසයක් විතර ඇති උණවටුනෙ පදිංචියට ඇවිල්ලා..එතකන් හිටියෙ හික්කඩුවෙ.''

''හ්ම්..මගේ නම වික්ටර්..හඳුනා ගැනීම සතුටක්..''යි මං අත දිගු කරමින් කිව්ව.

''මම සාරා..''යි අතට අත දෙන ගමන් ඇය කිව්ව.

ඇගේ බීම එක වේටර් ගෙනත් දුන්න.ඒ අතර මගේ ඇස් වෙරළ දිහාවට යොමු වුනා.සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් වෙරළ දෙසට ඇදී එනව.සමහරු නානව.සමහරු සෙල්ලම් කරනව.දවස පුරා කෑම හොයාගෙන ගිය කුරුල්ලො කැදලි කරා පියඹා යනව.ධීවරයෝ පිරිසක් ඔරුවක් වතුරට තල්ලු කර ගෙන යනව.මේ දෙවල් දිහා සැහැල්ලු සිතින් මං ටිකක් වෙලා බල ගෙන හිටියා.

''ඔබ තුමියගේ රට මොකද්ද?''යි ටික වෙලාවකින් මං ඇහුව.

''ප්‍රංශය''යි ඇ‍ය බීම වීදුරුව මේසය උඩ තියන ගමන් කිව්ව.

''මෙහේ ඉඳන් මොනව හරි කරනව ද?''

''ඔව් ළාමා නිවාස වලට ආධාර කරනව.ඒ ළමයින් එක්ක ගොඩක් වෙලාවට සතුටින් කාලය ගත කරනව.ඔබ තුමා..?''

''මං දැන් විශ්‍රාමිකයි..රේගු දෙපාර්තමේන්තුවෙ වැඩ කරේ..දුවයි පුතයි දෙන්නම විවාහ වෙලා..දුව නම් දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ,පුතා ඉන්නෙ කොළඹ..බිරිඳ නැති වෙලා දැන් අවුරුදු හතරක් වෙනව''

''හරිම කණගාටුයි''

''මං හිතන් හිටියෙ එයාට කලින් මං නැති වෙයි කියල.මොනව කරන්න ද ජීවිතේ හැටි තමයි.''

නො දැනීම හිරු බැස ගිහින් සඳු නැග ඇවිල්ලා.අහස පුරා පැහැදිලිව තාරුකා දිළෙනව.ඈත දියඹේ විදුලි එළියෙන් බැබළෙමින් නැව් යාත්‍රා කරනවා.වෙරළ තීරයේ වැඩි හරියක් ඉතුරු වෙලා හිටියෙ රාත්‍රියට ප්‍රිය කරන විදේශීය සංචාරකයින් විතරයි.

''වයසට යන්න යන්න ජීවිතේ අගය වැඩි වැඩියෙන් දැනෙනව.ඉර බැහැ ගෙන යන හැටි බලන් හිටියම මගේ හිතට සැහැල්ලුවක් දැනෙනව වගේම පුංචි දුකකුත් දැනෙනව..මොකද ඒ කියන්නෙ තව දවසක් ඉවරයි කියන එකනෙ''යි සාරා කිව්ව.

''ඒක ඇත්ත..සමහර දේවල් වල වටිනා කම පෙනෙන්නෙ ගොඩක් කල් ගත වුනාම..මං ආසයි අප්‍රිකාවෙ යන්න.කොන්ගො වනාන්තරයෙ සංචාරයක් කරන්න.''මං කිව්ව.

''ඒක නම් හොඳ අදහසක්..ඔබ තුමාගෙ වයසෙ හැටියට ඒ වගේ ගමනක් ඔරොත්තු දෙයි ද දන්නෙ නෑ..විශේෂයෙන් කෑලේක ඇවිදින්න යනව කියන්නෙ''

''ඒක නම් ඇත්ත.''

''මොකද මං දන්න ජර්මන් මහත්මයෙක්ට එහෙම වුනා.එයා හුඟක් ආසයි දුවන්න.එයා ආසයි හැමදාම උදේට කඳු-හෙල් තරණය කරමින් දුවන්න.එයා අන්තිමට අන්තරා වුනේ එහේ කැලෑවක දුවමින් ඉන්න කොට.ඔලුවෙ නහරයක් පුපුරල.''ඇය කිව්ව.

''හ්ම්,හැබැයි ඒ මහත්මයගේ මරණය ස්වාභාවිකයි කියලයි මට නම් හිතෙන්නෙ..''

''හහ්..හහ්..හා..'' ඇය සිනාසුනා.

''දිගටම ලංකාවෙ ඉන්න ද කැමති.වෙන රටකට සංචාරය කරන්න යන්න එහෙම අදහසක් නැද්ද..?''මං ඇහුව.

''තාම නම් මෙහෙන් යන්න හිතිල නෑ..තව දුරටත් මෙහේ ඉන්න ආසයි''

''හ්ම්..''

ඊට පස්සේ අපි කතා නො කර ගොඩක් වෙලා හිටියා.කතා කරන්න තරම් දෙයක් තිබුනෙත් නෑ..ගත-සිත සැහැල්ලු කරමින් මුහුදු හුළං රැල්ලක් අප වටා දැවෙටෙමින් හමාගෙන ගියා.වෙරළේ හැපෙන රළ සද්දයත්-තැනින් තැන ඉඳන් කතා කරන අයගෙ හඬත්-ගෙස්ට් හවුස් එකේ දාල තිබ්බ ආදර බර ඉංග්‍රීසි ගීතයත් ඇහෙන කොට අපි නිශ්ශබ්ද්දව හිටියා.

''එහෙනම් මට යන්න වෙලාව හරි..ඔබතුමා එක්ක කතා කිරීමට ලැබීම සතුටක්..නැවත වෙලාවක හමුවෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.''යි ටික වෙලාවකට පස්සෙ මා දෙසට අත දිගු කරන ගමන් ඇය කිව්ව.

''හොඳයි..මටත් දැන් නිව්ස් බලන්න යන්න තියෙනව..''යි අතට අත දෙන ගමන් මං කිව්ව.

ඉන් පසුව හිනාවෙලා ඇය ගියා.ටික වෙලාවක් මං එ'තනම වාඩි වෙලා මුහුද දිහා බල ගෙන හිටියා.මං ඉඳපු මේසයට මේස දෙක තුනක් එහායින් හිටිය තරුණ විදේශික පෙම් යුවලක් සෙමින් දෙතොල් සිප ගත්ත.මං පුටුවෙන් නැගිට-බිල ගෙවා-එන්න ආවා.

නිමි.
--------
සමීර සම්පත්.

Friday, January 23, 2015

හමුවේවි..

----
මං ගියේ වෙන පාරක
නුඹ ගියේ තව පාරක
ඒත් මේ පාරවල් දෙක
හමුවෙන හන්දියක්
කොහේ හරි ඇති..
අන්න එ'තැනදි
අපි නැවත හමුවේවි..
ඒ වෙලාවට..?
----
සමීර සම්පත්.

Friday, January 16, 2015

ඡායාරූපශිල්පයේ උපත (birth of photography) - 01


හැඳින්වීම

භෂාව නො දත් ප්‍රාග් ඓතිහාසික මානවයා දඩයමේ යන විට තමා දුටු විශේෂ සිදුවීමක් හෝ අත්දැකීමක්  තවත් කෙනෙකුට ප්‍රකාශ(සන්නිවේදනය) කිරීමට භාවිතා කරන ලද්දේ අංග චලනයන්(අභිනයන්) හා සිතුවම් ය.එම ක්‍රම තුළ බොහෝ දුර්වලතා ඉස්මතු විය.එනම් අදහස පැහැදිලිව කියා ගැනීමට නො හැකි වීම සහ කල් තබා ගැනීමට නො හැකි වීම යි.පසු කාලීනව භාෂාව සොයා ගැනීමත් සමඟ මානව සන්නිවේදනය ඉතා දියුණු මට්ටමකට පැමිණියේ ය.නමුත් දකින දෙයක් පැහැදිලි ලෙස සටහන් කර ගෙන මතක තබා ගැනීමේ ක්‍රමයක් මානවයාට අවශ්‍ය විය.ඒ අනුව දියුණු මානවයා විවිධ අත්හදා බැලීම් කරන ලදි.එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ කැමරාව නැමති උපකරණය නිර්මාණය කර ගන්නා ලදි.(Camera යන වචනයට දෙන ප්‍රධාන අර්ථ විග්‍රහයක් වන්නේ 'ආලෝකයෙන් ඇඳීම ' යන්න යි.)

පින්හෝල් කැමරාව (pinhole camera)

පින්හෝල් කැමරාව යනු කැමරාවේ ප්‍රාථමික අවධිය යි.එය තනි හතරැස් පෙට්ටියකි.එහි බිත්තියක කුඩා සිදුරක් සාදා ඇත.එම කුඩා සිදුරෙන් ඇතුළට එන ආලෝකය ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති බිත්තියට පතිත වේ.ඒ අනුව පිටත එම සිදුර ඉදිරියෙන් යම් වස්තුවක් තිබුණ විට,එම වස්තුවේ ප්‍රතිරූපයක් යටි කුරු ලෙස ඇතුළත නිර්මාණය වේ.මෙම ඡායාරූප ක්‍රමය solargraphy ලෙස ද හඳුන්වයි.මෙම පින්හෝල් ක්‍රමය පිළිබඳව චීන දාර්ශනික මෝ ඩි(Mo Di) සහ ග්‍රීක ගණිඥ්‍යයින් වන ඇරිස්ටෝටල් හා යුක්ලිඩ් ක්‍රි.පූ.5 වන සහ 4වන සියවස් වල දී අදහස් පළ කර ඇත.පසුව නිර්මාණය වුණු කැමරා ඔබ්ස්කියුරා(camera obscura)වට පාදක වූ අඩිතාලම වන්නේ මෙම පින්හෝල් කැමරාව යි.


pinhole camera 



කැමරා ඔබ්ස්කියුරාව (camera obscura)

පින්හෝල් ක්‍රමය වැඩි දියුණු කරමින් කැමරා ඔබ්ස්කියුරාව නිර්මාණය වී ඇත.මෙහි දී ආලෝකය පතිත වන ස්ථානයට කැඩපතක් තබා ඇත.එම කැඩපතට වැටුණු ආලෝකය ඉහළ බිත්තියට පරාවර්තනය වේ.එවිට රූපය නිර්මාණය වන්නේ ඉහළ බිත්තිය මතය.මෙහි දී එම ස්ථානයට ඝන පෘෂ්ඨයක් වෙනුවට කඩදාසියක් භාවිත කර ඇත.ක්‍රි.ව.1558 දී ඉතාලි විද්‍යාඥ දෙල්ලා පොර්තො මෙම ක්‍රමය ගැන විස්තර කර ඇත.මෙය පුනුරුද සමයේ චිත්‍රශිල්පීන් විසින් චිත්‍ර ඇඳීම සඳහා භාවිතා කර ඇත.ක්‍රි.ව.1600-1800 කාලය තුළ චිත්‍ර ඇඳීම සඳහා මෙම ක්‍රමය ජනප්‍රිය වී ඇත.කැමරා ඔබ්ස්කියුරාව ඉතාලි භාෂාවෙන් හඳුන්වන්නේ 'අඳුරු කුටිය' ලෙස යි.

camera obscura



පළමු ඡායාරූපය (first photograph)  

කැමරා ඔබ්ස්කියුරාවට නාභි(focus) ගත කර ගත හැකි කාචයක් යොදා ගෙන වැඩි දියුණු කර පසුව ක්‍රි.ව.1826 දී පමණ ප්‍රථම ඡායාරූපය නිෂ්පාදනය කර ගැනීමට ප්‍රංශ ජාතික ජෝශප් නිසෙපෝර් නීට්සේ(joseph nicephore niepce) සමත් විය.එය ඡායාරූප ශිල්පයේ නිල වශයෙන් ආරම්භය ලෙස පිළිගත හැකි ය.මෙම ඡායාරූපයට ඔහු හසු කර ගත් දර්ශනය වන්නේ ඔහු පදින්චිව සිටි ප්‍රංශයේ ශාන්ත ලොප් ඩි වෙරෙන්ස් නමැති ප්‍රදේශයේ-ලෙ ග්‍රාස් නමැති ගොඩනැගිල්ලේ- කාමරයේ-ජනේලයෙන් පිටත පෙනෙන දර්ශන යයි.ඔහු භාවිතා කළ තාක්ෂණයේ විශේෂත්වය වූයේ ආලෝකය පතිත වන ස්ථානයට 'ප්‍යුටර්' නම් ලෝහ තහඩුවක් භාවිතා කර,ඒ මත 'සුදු බිටුමන්' නමැති ආලේපයක් භාවිතා කර තිබීම යි.ඒ මතට ආලෝකය වැටුණු ස්ථාන ඝන වූ අතර ආලෝකය නො වැටුණු තැන් මෘදු බවට පත් විය.මෙම මෘදු කොටස ගැසොලින් මිශ්‍ර තෙලෙන්(ලැවැන්ඩර්) සෝදා හැරිය විට ඝන වූ කොටස ඡායාරූපයක් ලෙස ඉතුරු විය.මෙම ඡායාරූපය නිර්මාණය කර ගැනීමට ඔහුට පැය 8ක පමණ අනාවරණ(expose) කාලයක් ගත විය.

 first photograph

මතු සම්බන්ධයි..

-----
සමීර සම්පත්.

Thursday, January 15, 2015

කැස්බෑවා (sea turtle)


කැස්බෑවා යනු මුහුද ආශ්‍රිතව ජීවත් වන උරග විශේෂයකි.බොහෝ විට කැස්බෑවන් ජීවත් වන්නේ නිවර්තන හා උපනිවර්තන මුහුදු ප්‍රදේශ වල ය.ඒ නමුත් ඔවුන් සෑම විට සමස්ත සාගරය හරහා සංක්‍රමණය වේ.කැස්බෑවන් අතරින් ගැබ් ගත් කැස්බෑ මවක් බිත්තර දැමීම සඳහා වෙරළට ගොඩ වීම හැර ඔවුන්ගේ මුළු ජීවිත කාලයම ගත කරන්නේ මුහුදු ජලයේ ය.විශේෂයෙන් මුහුදු කැස්බෑවන් මිරිදිය ඉබ්බන්ට වඩා විශාල යැයි සැලකේ.ලොව පුරා සිටින කැස්බෑ ජනගහනයේ සංඛ්‍යාව නිශ්චිත නැත.මොවුන් බොහෝ විට සංසර්ගයේ යෙදෙන්නේ මාර්තු-ඔක්තොම්බර් මාස වල දී ය.තවද,ප්‍රධාන වශයෙන් මොවුන් ආහාරයට ගනු ලබන්නේ මුහුදු පැලෑටි,ඉස්සන්,ගොළු බෙල්ලන්,ඇල්ගී හා මොලූස්කාවන් ය.

සංසර්ගයෙන් පසුව ගැබ් ගත් වැඩිහිටි ගැහැණු කැස්බෑවන් රාත්‍රියේ දී ගොඩ බිමට පැමිණෙ‍යි.පසුව බිත්තර දැමීම සඳහා සෙන්ටි මීටර 40 සිට 50 දක්වා පමණ ගැඹුරු සිදුරක් කවාකාර අත් භාවිතා කරමින් වෙරළේ හාරයි.බිත්තර 50 සිට 350 ත් අතර ප්‍රමාණයක් එක් කැස්බෑ මවක් එහි දී ප්‍රසූත කරයි.ඉන් පසුව වැලි වලින් ඒවා වැසීම සිදු කරයි.මෙම සමස්ථ ක්‍රියාවලියටම විනාඩි 36ක් පමණ ගත වේ.ඉන් පසුව ඇය බිත්තර හැර සාගරයට යයි.වැලි යට තිබුණ බිත්තර වලින් මාස දෙකකට පමණ පසුව පැටව් එළියට එයි.ඉන් පසුව ඔවුන් වෙරළ දිගේ බඩගාමින් ගොස් සාගරයට ඇතුලු වෙයි.









අද වන විට මෙම කැස්බෑවන් වඳ වීමේ තර්ජනයට පත් වී ඇත.එයට ප්‍රධාන හේතුවක් වශයෙන් අතීතයේ පටන් මිනිසා විසින් කැස්බෑවන් ආහාරයට ගැනීම දැක්විය හැකිය.සමහර වෙලාවට කැස්බෑවන්ගේ කටු වල ඇති වටිනාකම නිසා දඩයමට ලක් වී ඇත.කැස්බෑවන්ගේ ශරීරයේ විවිධ කොටස් මිනිසුන්ගේ සපත්තු සහ විවිධ භාණ්ඩ වලට භාවිතා කර ඇත.එම නිසා කැස්බෑවන් දඩයම් කිරීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස ලෝකයේ පිළිගෙන ඇත.Tortuguero ප්‍රථම මුහුදු කැස්බෑවන් සංරක්ශණය කිරීමේ මූලස්ථානය ලෙස සැලකේ.1960 ගණන් වල දී කැස්බෑවන් ඝාතනය වැඩි වී ඇත.එම නිසා කැරීබියානු සංරක්ශණ සංස්ථාව මුහුදු කැස්බෑවන් සංචාරක ව්‍යාපාරයට (සංචාරකයින්ට දැක ගැනීමට)පාදක කර ගැනීමට ගම්වාසීන් සමග එකතු විය.එම නිසා අදටත් වාර්ෂිකව සංචාරකයින් දහස් ගණනක් කැස්බෑවන් දැක ගැනීමට Tortuguero වෙත පැමිණෙයි.
(කෙසේ නමුත් පුරාණ පේරු(peru) Moche ජනතාව මුහුදු සත්ත්වයින් නමස්කාර කර ඇත.ඔවුන්ගේ එම කලාව තුළ බොහෝ විට මුහුදු කැස්බෑවා නිරූපණය වී ඇත.)

අද වන විට විශේෂයෙන් කැස්බෑවන් කොටස් හතකට වර්ගීකරණය කොට ඇත.පිළිවෙලින්,

1.ලෙදර්බැක් කැස්බෑවා(Leatherback sea turtle).
2.කොළ කැස්බෑවා(Green sea turtle).
3.ලොගර්හෙඩ් කැස්බෑවා(Loggerhead sea turtle).
4.කෙම්ප්ස්ගේ රිඩ්ලි කැස්බෑවා(Kemp's ridley sea turtle).
5.හොක්ස්බිල් කැස්බෑවා(Hawksbill sea turtle).
6.ෆ්ලැට්බැක් කැස්බෑවා(Flatback sea turtle).
7.ඔලිව් රිඩ්ලි කැස්බෑවා(Olive ridley sea turtle).

ලෙස පෙන්වා දිය හැක.

(මේ අතරින් කැස්බෑ විශේෂ හතරක් ICUN රතු ලැයිස්තුව මත වඳ වීමේ තර්ජනයට ලක් වූවන් ලෙස ලැයිස්තු ගත කර ඈත.භූ ගෝලීය වශයෙන් කෙම්ප්ස්ගේ රිඩ්ලි සහ හොක්ස්බිල් දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක් වූවන් ලෙස සැලකේ.)

 1.ලෙදර්බැක් කැස්බෑවා(Leatherback sea turtle).


ලෙදර්බැක් කැස්බෑවන් ඕනෑම සාගර පෙදෙසක දැකිය හැකි ය.බොහෝ විට උතුරු ඇලස්කාවේ-නෝර්වේ-අප්‍රිකාවේ හා නවසීලන්තයේ මුහුදු ප්‍රදේශ වල ව්‍යාප්ත වී ඇත.අත්ලාන්තික්,නැගෙනහිර පැසිෆික් සහ බටහිර පැසිෆික් කලාප වල දැකිය හැකි ය.ඉන්දියානු සාගරයේ ද ලෙදර්බැක් කැස්බෑ ජනගහනය සාමාන්‍යයෙන් පවතී.
විද්‍යාත්මක නාමය-(Dermochelys coriacea).

2.කොළ කැස්බෑවා(Green sea turtle).


කොළ කැස්බෑවා කළු මුහුදු කැස්බෑවා සහ හරිත කැස්බෑවා ලෙස ද හඳුන්වයි.ලොව පුරා නිවර්තන සහ උපනිවර්තන මුහුදු පෙදෙස් වල දැකිය හැකි යි.මොවුන් වැඩි වශයෙන් ශාක භක්ෂික වේ.කොළ මුහුදු කැස්බෑවා ද දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක් වී ඇත.
විද්‍යාත්මක නාමය-(Chelonia mydas).

 3.ලොගර්හෙඩ් කැස්බෑවා(Loggerhead sea turtle).


ලොගර්හෙඩ් කැස්බෑවා සමාන්‍යයෙන් රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී.මොවුන් අත්ලන්තික් සාගරය,පැසිෆික් සහ ඉන්දියන් සාගරයේ වගේම මධ්‍යධරණී මුහුදු කලාපයේ දී ද ඇත.මෙම කැස්බෑවන් වයස 17-33ත් අතර කාලය තුළ දී ලිංගික පරිණත බව ලබයි.තවද මොවුන් වසර 47-67ත් අතර කාලයක් ජීවත් වෙයි.ධීවරයින්ගේ ක්‍රියාකාරකම් නිසා බොහෝ විට මොවුන් වඳ වීමට ලක් වී ඇත.
විද්‍යාත්මක නාමය-(Caretta caretta).

4.කෙම්ප්ස්ගේ රිඩ්ලි කැස්බෑවා(Kemp's ridley sea turtle).


මෙම කැස්බෑ විශේෂය අත්ලාන්තික් මුහුදු කැස්බෑවා ලෙස ද හඳුන්වයි.මොවුන් දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක් වී ඇත.මෙම වර්ගයේ වැඩි හිටි කැස්බෑවන් දිගින් අඩි 2ක් පමණ වේ.බර පවුම් 100ක් පමණ වේ.මොවුන්ගේ හිස ත්‍රිකෝණාකාර හැඩයක් ගනී.මෙම කැස්බෑවන් නො ගැඹුරු ජලයේ මූලික වශයෙන් කකුළුවෝ ආහාරයට ගනිමින් ජීවත් වෙයි.
විද්‍යාත්මක නාමය-(Lepidochelys kempii).

5.හොක්ස්බිල් කැස්බෑවා(Hawksbill sea turtle).


මෙම කැස්බෑ විශේෂය ද දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක් වී ඇත.මොවුන් අත්ලාන්තික්,පැසිෆික් සහ ඉන්දියන් සාගරය අවට ව්‍යාපත වී පවතී.මොවුන්ගේ පෙනුම සාමන්‍යයෙන් පැතලි හැඩයක් ගනී.මොවුන් නො ගැඹුරු කලපු සහ කොරල් පර අතර ජීවිතයේ වැඩි කාලයක් ගත කරයි.මොවුන් ධීවරයින්ගේ ක්‍රියාවන් නිසා වඳ වීමේ තර්ජනයට ලක් වී ඇති බව ලෝක සංරක්ෂණ සංගමය නම් කොට ඇත.
විද්‍යාත්මක නාමය-(Eretmochelys imbricata).

 6.ෆ්ලැට්බැක් කැස්බෑවා(Flatback sea turtle).


මොවුන් ඕස්ට්‍රේලියානු මහද්වීපයට ආවේණික කැස්බෑ විශේෂයකි.බොහෝ විට ඕස්ට්‍රේලියාවේ උතුරු වෙරළ තීරයේ සහ පැපුවා නිව් ගිනියාවේ-නො ගැඹුරු ජලයේ-බොකු-කොරල් පර සහ මෝය ආශ්‍රිතව දැකිය හැක.
විද්‍යාත්මක නාමය-(Natator depressus).

7.ඔලිව් රිඩ්ලි කැස්බෑවා(Olive ridley sea turtle).


මෙම කැස්බෑවා පැසිෆික් මුහුදු කැස්බෑවා ලෙස ද හඳුන්වයි.ප්‍රධාන වශයෙන් පැසිෆික් සහ ඉන්දියන් සාගරයේ දී දැක ගත හැකි යි.මොවුන්ගෙන් වැඩිහිටි පිරිමි කැස්බෑවන් කිලෝ ග්‍රෑම් 33ක් පමණ බර වන අතර,වැඩිහිටි ගැහැණු කැස්බෑවන් කිලෝ ග්‍රෑම් 33-45ත් අතර වේ.මෙම විශේෂය දකුණු අප්‍රිකාව-ඕස්ට්‍රේලියාව-නවසීලන්තය-දකුණු ඉන්දියාව-අරාබිය-ජපානය-පැසිෆික් ඉන්දියන් සාගරයේ නිවර්තන කලාපයේ ව්‍යප්තව පවතී.
විද්‍යාත්මක නාමය-(Lepidochelys olivacea).
---------------
 ඒ අනුව කැස්බෑවන්ගේ මූලික විස්තර ඉහත දැක් වූ පරිදි වේ.අද වන විට වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින කැස්බෑවන් සංරක්ෂණය කිරීමට ලෝකයේ බොහෝ සංවිධාන-ආයතන-ව්‍යාපෘති බිහි වී තිබේ.ඒ අතරින් ශ්‍රී ලංකාවේ කොස්ගොඩ මුහුදු කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියට ද විශේෂ ස්ථානයක් හිමි වේ.ලෝකයේ සියලුම සත්ත්ව කොටස් අතරින් යමක් සිතා බලා බුද්ධිමත්ව කිරීමේ හැකියාව තිබෙන්නේ මිනිසාට පමණි.එම නිසා විචිත්‍රවත් මේ ලෝකයේ ගහ-කොළ,ඇල-දොළ,සතා-සිව්පාවා විනාශ කිරීම නොව,ආරක්ෂා කර රැක බලා ගැනීම මිනිසා සතු පරම වගකීම යි.

---------
සමීර සම්පත්.
(සැ.යු-මෙම ලිපිය මා  සකස් කළේ අන්තර්ජාලයේ සැරිසැරීමෙන් ඉගෙන ගත් කරුණු වලට අනුව ය.සියලුම ඡායාරූප Google Images වලින් ලබා ගත් ඒවා ය.මෙම ලිපිය මගින් මා උත්සහ කළේ කැස්බෑවන් සම්බන්ධව මූලික අවබෝධයක් නො දන්නා අයට ලබා දීමට ය.එම නිසා  කැස්බෑවන් සම්බන්ධව ඔබට මීට වඩා අධ්‍යයනය කිරීම සහ කරුණු සොයා ගත හැකි ය.)

Monday, January 12, 2015

පෙම් සිත

සොඳුරු නෙත් දෙක
දුටුව දින සිට
සිහිනයක් බව
දැනම තව තව
නුඹේ වත ගොත
සොයමි හැම විට.
දකින හැමදාම
ඔබ ගැන
පාරවයි මේ මගේ
පෙම් සිත.
දරා ගත නො හැකි
ඒ හැම විට
මුදා හලේ දුක
කවි ලියන
පන්හිඳ
----
සමීර සම්පත්.