Tuesday, April 28, 2015

අප දෙදෙනා

සඳ එළියට රන් මුදු දිළෙනා
සොඳුරු රැයක දී අප දෙදෙනා
ආදරයෙන් එක් වූ ලෙසිනා
සිටියේ කෙලෙස ද,ඔබ ඔහු හා
----
සමීර සම්පත්.

Sunday, April 12, 2015

අවුරුදු සිරි

----
එරබදු ඉති වල මල් විකසිත       වෙනවා
අත්තේ ලැග කොවුලා ගී          ගයනවා
දොං දොං ගා රබාන හඬ            දෙනවා
සට පට ගා රතිඤ්ඤා රැව්           දෙනවා

කැවුම් කොකිස් මුං තෙලේ     නටනවා
ගමේ ගෙවල් හැම කල එළි      වෙනවා
අවුරුදු සිරි හැම තැන        පැතිරෙනවා
මුළු රට නැකතට එකමුතු         වෙනවා

(සංදේශය කියවන සියලුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා..!)
----
සමීර සම්පත්.

Friday, April 10, 2015

අම්බලමේ පිනා


 ''අම්බලමේ  පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා
ඒකට මට හිනා''

මෙය කුඩා ළමයාගේ සිට වැඩිහිටියා දක්වා අපි හැමෝම දන්නා කට වහරේ ඇති ජන කවියකි.මෙම කවිය නිර්මාණාත්මක ලෙස දිගු කර මුල් කවියේ අර්ථයට සාපේක්ෂව වෙනස් වූ අපූරු අර්ථයක් හැඟවෙන ලෙස රචනා කරන ලද කවි පෙළක් පසු ගිය දා එනම්,2015-04-09 වන බ්‍රහස්පතින්දා දිවයින වටමඬල අතිරේකයේ පල විය.එය මෙසේ ය,

අම්බලමේ පිනා

අම්බලමේ පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා
නොවනු එයට හිනා

තව දිනයක පිනා
කදත් රැගෙන එනා
පුරුදු පරිදි ගොනා
කද බිඳගෙන යනා

ඉන් නොසැලෙන පිනා
කරබාගෙන එනා
යළිදු වළං තනා
කදත් රැගෙන යනා

මහ මඟ එන පිනා
දුටුව පරණ ගොනා
පිම්මෙන් දිවගෙනා
යයි කද බිඳගෙනා

දුකම පුරුදු පිනා 
යළිදු  ගෙදර එනා
තණ මිටියක් මනා
කද බැඳගෙන එනා

ඔහුව දැකපු ගොනා
හෙමිහිට ළං වුණා
තණ මිටියට ගොනා
කෙමෙන් වසඟ වුණා

හීන්සැරේ පිනා
මිතුරු කරන් ගොනා
යළි නිවසට එනා
කරත්තයක් තනා

අම්බලමේ පිනා
වළං ගැලකි ගෙනා
ඒක අදින ගොනා
ඒකට මට හිනා....

සුදේශ් කවීශ්වර
කැලණිය විශ්වවිද්‍යාලය
(2015-04-09/දිවයින-වටමඬල)

මෙහි දී කවියා මුලින්ම කරන්නේ සම්ප්‍රධායික මුල් කවියේ හතරවන පදය වෙනස් කිරීමයි.එනම් 'ඒකට මට හිනා' යන්න 'නොවනු එයට හිනා' ලෙස යි.ඉන් පසුව සමස්ත පැදි පෙළම නිර්මාණය වන්නේ ඒ වෙනස මත පිහිටා ය.ඒ අනුව ඊළඟ කවියෙන් කියවෙන්නේ පිනා නැවත වළං කදත් රැගෙන එන බව යි.එය සාම්ප්‍රධායික කවියේ තිබ්බ ආකෘතියටම අනුව ශබ්ද රසය රකිමින් ඉතා රසවත්ව කවියා පවසන්නේ මෙසේ ය.

තව දිනයක පිනා
කදත් රැගෙන එනා
පුරුදු පරිදි ගොනා
කද බිඳගෙන යනා

ඒ අවස්ථාවේ දී ද ගොනා ඇවිත් වළං කඳ බිඳියි.නමුත් එයින් නො සැලෙන පිනා නැවත වළං කදක් රැගෙන පුරුදු මාවතේම යයි.කවියා එය සරල බස් වහරින් පවසන්නේ මෙසේ ය.

යළිදු වළං තනා
කදත් රැගෙන යනා

මේ අනුව පළමු කවි හතරෙන්ම කියවෙන්නේ පිනා වළං කද රැගෙන ඒමත් ගොනා එය බින්ඳීමත් ය.අවස්ථා හතරක දී උගත් පාඩමට අනුව පිනා මෙම ගැටලුවෙන් මිදීමට අලුත් උපක්‍රමයක් භාවිතා කරයි.ඒ අනුව පිනා වළං කදේ වළං වෙනුවට තණ කොළ අරගෙන එයි.
  
දුකම පුරුදු පිනා  
යළිදු  ගෙදර එනා
තණ මිටියක් මනා
කද බැඳගෙන එනා

වළං දුටු විට හානි කිරීමට දිව එන ගොනා තණ මිටි දැකපු ගමන් එසේ එන්නේ නැත.පිනාගේ මෙම අපූරු උපක්‍රමය සාර්ථක  වෙයි.ඒ අනුව තණ කොළ නිසා ගොනාව හීලෑ කර ගැනීමට පිනාට හැකි වේ.

හීන්සැරේ පිනා
මිතුරු කරන් ගොනා

දැන් ඉතින් ඉස්සර ඉඳන් අමාරුවෙන් වළං කද කරේ තියාගෙන ගිය පිනාට එසේ දුක් විඳීමට අවශ්‍ය නැත.ඔහු ඒ වෙනුවට ගොන් කරත්තය භාවිතා කරයි.කවියා එය රසිකයාට චිත්ත රූප මැවෙන ආකාරයට පවසන්නේ මෙසේ ය.
  අම්බලමේ පිනා
වළං ගැලකි ගෙනා
ඒක අදින ගොනා 
ඒකට මට හිනා....

සම්ප්‍රධායික කවියේ හතර වන පද පේළිය එනම්,'ඒකට මට හිනා' යන්න කවියා මෙහි අවසාන කවියේ හතර වන පද පේළියට උපහාසාත්මකව භාවිත කරයි.එයින් පෙනෙන්නේ කවියා උපතින්ම ගෙනා ප්‍රතිභා ශක්තිය යි.තවද කවියක තිබිය යුතු ප්‍රසාද ගුණය නැති නම් පැහැදිලි බව සුදේශ් කවීශ්වර කවියාගේ මෙම සමස්ත පැදි පෙළ තුළම දක්නට ඇත.ඒ අනුව මුල් කවියට වඩා වෙනස් අකාරයකින් අම්බලමේ පිනාගේ කතාව මේ විදියට නිර්මාණය කිරීමෙන් පෙනී යන්නේ කවියා නිතර කවි කියවන-රසවීඳින-අධ්‍යනය කරන ඉතා හොඳ පරිකල්පනයක් ඇති කෙනෙකු බවයි.
----
සමීර සම්පත්.

Wednesday, April 8, 2015

ඩියාගෝ ගාර්සියා(diego garcia)

ඩියාගෝ ගාර්සියා යනු දූපතකි.නමුත් එය ගස්-වැල්,මල්-පළතුරු,සත්තුන්ගෙන් පමණක් සමන්විත පාරදීසයක් නොවේ.ඒ වෙනුවට මෙහි බහුලව ඇත්තේ පතොරම්,බෝම්බ,අවි,ප්‍රහාරක ගුවන් යානා,මිසයිල වැනි දේවල් යැයි කීවොත් වඩා නිවැරදි ය.ඊට හේතුව අද වන විට මෙම දූපත එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක කටයුතු සඳහා යොදා ගන්න බැවිණි.මෙය පිහිටා තිබෙන්නේ මධ්‍යම ඉන්දීය සාගරයේ දකුණු සමකයට ආසන්නව ය.ටැන්සානියාවේ සිට සැතපුම් 2167 ක් නැගෙනහිරින් ද,ඉන්දියාවේ සිට සැතපුම් 1116 ක් දකුණු-නිරිත දිගින් ද,ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයේ සිට සැතපුම් 2935 ක් දුරින් ද මෙම දූපත පිහිටා තිබේ.



මෙය කුඩා දූපත් 60 න් සමන්විත චාගෝස් දූපත් සමූහයේ විශාලම දූපතයි.ප්‍රංශය යටතේ තිබ්බ මෙම දූපත් නැපෝලියන් යුද්ධයෙන් පසුව ක්‍රි.ව.1814 දී අත්සන් කරන ලද පැරීස් ගිවිසුමට අනුව එක්සත් රාජධානියේ පාලනයට නතු විය.එතැන් පටන් ක්‍රි.ව.1965 දක්වා මෙය එක්සත් රාජධානියේ ජනපදයක් බවට පත්විය.ඉන් පසුව ක්‍රි.ව.1966 දෙසැම්බර් 30 දින සිට 2016 දෙසැම්බර් දක්වා වන වසර 50 ක කාලයක් ආරක්ෂක අරමුණු සඳහා භාවිතා කිරීමට එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය ගිවිසුමකට එකඟ විය.



එම ගිවිසුම තවත් වසර විස්සකින් එනම්,2036 දක්වා දීර්ඝ කර ගැනීමට 2014 දෙසැම්බර් වල දී රටවල් දෙක අතර සාකච්ඡා ඇති විය.මෙහි ප්‍රහාරක ගුවන් යානා ගුවන් ගත කර හැකි ගුවන් පතයක් ඇති අතර
ප්‍රහාරක සබ්මැරීන් සහ නැව් ගාල් කර හැකි වරායක් ද ඇත.අදවන විට මෙහි එක්සත් ජනපදයට අයත් අති නවීන ප්‍රහාරක ගුවන් යානා හා සබ්මැරීන ස්ථාන ගත කොට ඇත.1991 දී ඇති වූ ගල්ෆ් යුද්ධයේ දී වගේම විවිධ අවස්ථා වල දී ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ පැවති යුධ ගැටුම් සඳහා අවශ්‍ය ආරක්ෂක සහය එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය මෙම දූපතේ ඇති ඔවුන්ගේ කඳවුරු වලින් ලබා ගෙන ඇත.



මෙය ඉන්දීය සාගරයේ බ්‍රිතන්‍යය ප්‍රදේශය (British Indian Ocean Territory) ලෙස ද හඳුන්වයි.මෙහි 3000-5000 ත් අතර ජනගහනයක් පවතින අතර ඔවුන් හමුදා හා සිවිල් වැසියන්ගෙන් සමන්විත වේ.තවද,ත්‍රස්තවාදයට සම්බන්ධ සැකකරුවන් ද මෙහි රඳවා ගෙන ඇතැයි ද සැලකේ.ඒ අනුව 2004 දී ඇමරිකාව විසින් ගෙන යන ලද ''ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුද්ධය(Global War On Terror)'' වැඩසටහනේ දී අත් අඩංගුවට පත් වූ පුද්ගලයින් රඳවා තබා ගැනීමට හා වධ හිංසා කිරීමට මෙම දූපත භාවිතා කර බවට මත පල විය.ඒවා අදටත් රහස් පමණි.ඒ අනුව ඩියාගෝ ගාර්සියා යනු ඉන්දියන් සාගරය ඇතුළු දකුණු ආසියාතික කලාපයේ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය සතු විශාලම ආරක්ෂක මධ්‍යස්ථානය ලෙස හැඳින්වීම වඩා නිවැරදි ය.
----
සමීර සම්පත්.

Friday, April 3, 2015

සෙබෙස්තියන්ගේ හදගැස්ම

----
සීතල හිම වැටෙන
මේ ඇල්ප්ස් කන්දේ
අම්මාගේ උණුසුමයි
මං හෙව්වේ..

''කෙසාරුයි ඇන්ජෙලීනයි
කිව්ව..
අම්මා ආයෙත් එන්නෙ නෑ
කියල..
සදහටම..''

ඒත් මට දැන් තනි නෑ..
නුඹ ඉන්නවනෙ බේල්..
ඒ ඇති..
----
සමීර සම්පත්.