Wednesday, December 24, 2014

නන්නාඳුනනා සුළඟක් නම්..

------
'නන්නාඳුනනා සුළඟක් නම්' ගීතය සිංහල ගීත සහිත්‍යයේ ලියැවුණු බොහෝ විශිෂ්ට ගී පද රචනයන්ට ස්වකීය ගායන හඬ පෞර්ෂයෙන් දායක වුණු ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස් මහතාගේ අලුත්ම ගීතය යි.මේ 'නන්නාඳුනනා' ගීතයේ අර්ථය අඳුන ගන්නට කළ වෑයම යි.
අපි අසන සහ අපිට ඇසෙන බොහෝ දෙස්-විදෙස් ගීත වල තිබෙන්නේ භද්‍ර යෞවනයේ තරුණ-තරුණියන් අතර ඇති වන ප්‍රේමයේ විරහව හෝ සුන්දරත්වය හඟවන අර්ථයන් ය.නමුත් විවාහයට පත් වූ අඹු-සැමි ප්‍රේමවන්තයින්ව ප්‍රස්තුත වුණු ගීත සංඛ්‍යාව ඉතාම අල්ප ය.'නන්නාඳුනනා සුළඟක් නම්..' ගීතය ද ඒ අල්ප ගීත අතරින් එකක් කීවොත් වඩා නිවැරදි ය.
මේ ගීතයේ කියැවෙන්නේ තමාගේ බිරිඳ විසින් තමාව හැර දමා යාම නිසා වේදනාවට පත් වූ සැමියකුගේ ශෝකාලාපයකි.එම ප්‍රකාශය මෙසේ සාධනය කරමි.
බොහෝ විට සුළඟක් ගඟක් අසලින් හමා ගෙන යනවා නම් ඒ ගඟේ ජලය කැලතීමකට ලක් වෙයි.සෙලවෙයි.ගහක් අසලින් හමාගෙන ගියොත්,ඒ ගහේ කොළ සෙලවීමකට ලක් වෙයි.මේ ගීතයේ කතා නායකයා වන ස්වාමි පුරුෂයාගේ බිරිඳ ද ඔහුව හැර දමා යන්නේ සුළඟක් වගේ ය.ඒ නිකම් නම් නොවේ,සුළි සුළඟක් වගේ ය.තමාගේ සිත කලතවමින්-සෙලවමින්-සසල කරමින්-සිතුවිලි අතරමං කරමින් තමා හොඳටම දන්න හඳුනන බිරිඳ වෙන් වී යන විට ඒ දුක ඔහුට දරා ගැනීමට බැරි වෙයි.

''නන්නාඳුනනා සුළඟක් නම්
එය දරා ගන්න තිබුණා
දන්නාඳුනනා ප්‍රියම්භිකාවිය
සිත අවතැන් කොට
සුළි සුළඟක් වී
ඔබ යන්න ගිහින් තිබුණා''

බෞද්ධ සාහිත්‍යයේ ද සඳහන් වන පරිදි බිරිඳක් වීමට කලින් අවබෝධ කර ගත යුතු අවවාදයක් ඇත.එනම් 'පිටත ගිනි ඇතුලතට නො ගත යුතු ය.ඇතුලත ගිනි පිටතට නො දිය යුතු ය.'යන්න යි.එය සිත් දෙකක් තියෙන-ශරීර දෙකක් තියෙන ගැහැණියක් සහ පිරිමියෙක් එකට එක් වී පවුල් ජීවිතයක් පවත්වාගෙන යාමේ දී අවධානය යොමු කළ යුතු වැදගත් රීතියකි.බොහෝ පවුල් ජීවිත වල ප්‍රශ්න ඇවීලී පැතිර යාමෙන් පවුල විනාශ වී යන්නේ ද මෙම රීතිය කඩ කර ගැනීම නිසා ය.මොහුගේ පවුල් ජීවිතයට ද බලපාන්නේ ද මෙම කාරණාවම ය.'සස්වාමික පෙම' යන්නෙන් අරුත් ගැන්වෙන්නේ අඹු-සැමි ප්‍රේමය යි.ඉතින් පිටතිනුත් ඇතුලෙනුත් ප්‍රශ්න වලින් ඇවිළුණු මොවුන්ගේ පවුල් ජීවිතය ඇතුලින් අඹු-සැමි ප්‍රේමය සදහටම පලා යයි.

''ගෙයි ඇවිළුණු ගිනි පිටට ගියා
පිට ගින්දර ගෙයි ඇවිල ගියා
යලි ඉපදෙනු බැරි
සස්වාමික පෙම
පෑල දොරින් පලා ගියා''

ගොඩක් වෙලාවට හමා ගෙන එන සීතල සැඩ සුළං හමා ගෙන යන්නේ මහා වර්ෂාවක පෙර නිමිති සලකුණු කරමින් ය.ඉතින් මේ ගීතයේ පූර්වයේම කථකයා පවසන්නේ තමාගේ බිරිඳ තමාගේ මුළු ජීවිතයම අවතැන් කරමින් වෙන් ව ගියේ සුළි සුළඟක් වගේ බවයි.ඉතින් ඇගේ නික්මීමත් සමග මොහුගේ ජීවිතයට කඳුළු වර්ෂාවක් ඇදහැලෙයි.ඇය ඔහුට අවසාන වශයෙන් ඉතිරි කර යන්නේ කඳුළු බිංදු පමණි.ගී පද රචකයා එය රූපකාර්ථවත් ලෙස පවසන්නේ මෙසේ ය.

''කෙඳිරිලි වරුසා ඇද හැලුනා
මා හදවත දොර ගුළු වැහුනා
යළි සිප ගනු බැරි
නුඹේ කඳුළු බිඳු
මා උරතලයේ ඉතිරි වුණා''

අවසාන වශයෙන් මෙසේ පවසමි.බොහෝ විරහ ගීත තොග පිටින් බිහිවෙන කාලෙක මෙම ගීතයේ පද රචනය සාහිත්‍ය ගුණයෙන් ඉහළ දුර්ලභ පද රචනයකි.ගීතයේ සංගීතය ද පද රචනයේ අර්ථයට ගැලපෙන ආකාරයෙන් නිර්මාණය වී ඇතැයි කීම යුක්ති යුක්ත ය.





--------
සමීර සම්පත්.

Tuesday, December 23, 2014

කොලරා කාලේ ආලේ..

මං නුඹට ආදරේ බව
දැන දැනම
නුඹ මගෙන්
වෙන් වුනාට,
දවසින් දවස
අලුත් අලුත්
අත්දැකීම් එක්ක
ජීවිතය ගෙවී යන විට,
දැන දැනම
මට නුඹව
අමතක කරන්න
බැරි වුනාට
සමාවෙයන්
ෆර්මිනා....


මීට,
ආදරණීය ෆ්ලෝරෙන්තිනෝ.
-----
සමීර සම්පත්.

Monday, December 22, 2014

Gravity


සිනමාව යාථාර්තයක් නොවේ.නමුත් අපි චිත්‍රපටියක් බලන විට එය කල්පිතයක් නොවන ලෙස දැනෙනවා නම් එය එම සිනමා නිර්මාණයේ සේම සිනමාකරුවාගේ ද විශිෂ්ටත්වය යි.Gravity චිත්‍රපටිය ද එවන් වූ විශිෂ්ට නිර්මාණයක් යැයි කීම නිවැරදිය.අපි බලා ඇති බොහෝ චිත්‍රපටි වල කතා මාලාව ගෙතී ඇත්තේ ඕසෝන් ස්තරයෙන්(Ozone Layer) ඇතුලත ජීවත් වන මිනිසුන්ගේ ජීවිත ගැන සහ ඔවුන් මුහුණ දෙන ගැටලු වටාය.නමුත් Gravity චිත්‍රපටියේ කතාව ගෙතී ඇත්තේ ඕසොන් ස්තරයෙන් පිටත සිටින ඇමරිකානු ගගනගාමීන් දෙදෙනෙකු වටා ය.Dr. Ryan Stone(Sandra Bullock) සහ Lieutenant Matt Kowalski(George Clooney) දෙදෙනා තමන් වැඩ කරන ෂටලයේ අලුත් වැඩියා කටයුතු වල නිරතවෙමින් සිටියි.ඔවුන් දෙදෙනාට අමතරව තවත් එක් ගගනගාමියෙක් එම ෂටලයේ සිටී.Ryan සහ Matt සතුටු සාමීචියෙන් වැඩ කරමින් සිටී.නමුත් ඔවුන්ට එසේ වැඩි වෙලා සිටීමට ලැබෙන්නේ නැත.ඉතා වේගයෙන්  පැමිණෙන උල්කා පාෂාණ වර්ශාවක ගැටී ඔවුන්ගේ ෂටලය විනාශයට පත් වෙයි.

ඉතිරි වන්නේ ඔවුන් දෙදෙනා පමණි.ඔවුන් පිහිට පතා යන්නේ රුසියානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානයටය.එහි සිටි අය ද එම උල්කා වර්ෂාවෙන් මිය ගොස් සිටී.ඒ අතර Matt ව ද Ryan ගෙන් වෙන් වී ඈතට පා වී යයි.ඉතිරි වන්නේ  Ryan පමණයි.අවසානයේ Ryan ට පෘතුවියට පැමිණීමට ලැබෙන්නේ පා වෙමින් තිබෙන චීන Capsule එකක් ආධාරයෙනි. ඒ  කතාවේ සාරාංශය යි.
ආර්ථික-දේශපාලනික ලෝකය තුල ඇමරිකාව රුසියාව සහ චීනය යන රටවල් සමග සීතල ගැටුමක් පවතින බව බොහෝ දෙනා දනී.

නමුත් පෘතුවියෙන් පිටත දී කරදරයක් ඇති වූ විට මිනිසුන්ට සිටින්නේ මිනිසුන්ම පමණක් බව සිනමා කරුවා(Alfonso Cuaron) අපට පෙන්වයි.ඒ බව අවසානයේ ඇමරිකානු ගගනගාමී කාන්තාවට(Ryan) චීන Capsule එකක් පිහිටෙන් මිහිතලයට එන්නට වෙන සිදුවීමෙන් උපහාසාත්මකව පෙන්වයි.තව ද කාන්තාවක සතු නො සැලෙන ශක්තිය මෙම චිත්‍රපටිය පුරා සිනමා කරුවා ඉස්මතු කර පෙන්වයි.කරදර පිට කරදර පැමිණුනත් ජීවිතයේ අභියෝග ජය ගත යුතුය යන පණිවිඩය ද ඉස්මතු කර පෙන්වයි.එක් තැනක දී Matt රුසියානු මධ්‍යස්ථානය වෙත පාවී යන අවස්තාවේ දී මොහොතකට නැවතී පෘතුවිය දෙස බලා Ryan ට ඇසෙන සේ 'කොච්චර ලස්සන ද' කියා පවසයි.එයින් සිනමා කරුවා පෙන්වන්නේ සමාජ-දෙශපාලන-ආර්ථික ලොකය තුල සිරවුණු මිනිසා නො දකින මිහිතලයේ ලස්සන නො වේද?. Gravity යනු ජීවිතය,මිහිතලය සහ මිනිසුන්ගේ වටිනාකම අපට අවබෝධකරවන සුන්දර සිනමා නිර්මාණයකි.මෙම චිත්‍රපටියට 2013 Oscar සම්මාන උළලේ හොඳම අධ්‍යක්ෂනය ඇතුළුව සම්මාන හතක් හිමි වීමෙන්ම ඒ බව ප්‍රතීයමාන වේ.
-----------
සමීර සම්පත්.

Thursday, December 18, 2014

ආදරේ..

දුම් වලා හා තනි වී..
තරු අහස දෙස බලා හිඳිමි..
ඇගේ දෑසින් පෑව සිනාවන්
නෙත් මානයේ පෙනේ මැවී..
මුවින් පිට වී
මගෙන් වෙන් වී
ඈතට ඈදී යන
දුම් වලා වේ..
සොයා ගොසින්
ඈ සිටිනා දෙසකට
පවසාලනු මැන
ආදරේ මගේ..
----
සමීර සම්පත්.

Wednesday, December 17, 2014

පාට ලෝක

නැග යන බැස යන
හිරු-සඳු අසිරිය
ගලා බැසී යන
නදියක ලස්සන
ලා-තද පැහැයට
දිදුළණ ගහ කොළ
මිහිරි ගයන ගී
කුරුලුගෙ නාදය
කවදා දකී ද?
පාට ලෝක වල
සිරවුණු ජීවිත.
----
සමීර සම්පත්.

Friday, December 12, 2014

අවසරයි තිත තබන්නට

දෑස් ඉදිරි පිට
සිහිනය බොඳ වූ විට
තවත් හැකි ද
පන පොවන්නට.
සොඳුරු රෝස කුසුමක් ගැන
තුන් කල් දුටුව
ඒ අසිරිමත් සිහිනයේ
බලාපොරොත්තුවට
අවසරයි තිත තබන්නට
සුපහන් සිතින්.
හෙට දිනේ පායන
හිරු මලේ එළියෙන්
අලුත් ලොවකට
පිය මනිනු පිණිස..
-----
සමීර සම්පත්

Saturday, November 22, 2014

පුන් සඳ

------
අඳුරේ තනි වී..
රෑ අහසට පෑයූ..
පුන් සඳ දෙස
මම බලා සිටිමි
නො සෙල් වී.
ඒ දෙස,
නුඹත් බලනවා නම්..
පෙනෙනා මානයක
සිටිමින්..
නුඹ ඈතක සිටියත්,
මම මෑතක සිටියත්,
අපිට අපි
ළඟ සේ
දැනේ වී..
-------
සමීර සම්පත්.

නිදහස

-------
පිටස්තර සිතුවිලි
සමග ගැටී..
අලුත් මත වලට
බිහිවෙන්න..
සිතට නිදහස
දෙනු මැන
නො බියව..
-----
සමීර සම්පත්.

Sunday, November 16, 2014

තවත් එක් මොහොතක් (කෙටි කතාව)

-----------------
මා කටුනායක ගුවන් තොටුපලෙන් එළියට එන විට හිරු අවරට යමින් තිබුණි.නො සිතූ ලෙස වර්ෂාවක පෙර නිමිති පෙන්වමින් සිහින් වැහි පොද මහ පොළවට පතිත වෙමින් තිබුණි.මා ගමන් මල්ලත් අතින් අල්ලා ගෙන බලා සිටියේ කලින් වෙන් කරවා ගත්ත ටැක්සිය පැමිණෙන තෙක් ය.ටික වේලාවකට පසු වේගයෙන් පැමිණි ටැක්සියක් කොරිඩෝව අසල නතර කෙරිණි.එහි සිටි රියදුරා සමග කතා කිරීමෙන් පසුව එය මා හට වෙන් කරවා ගත් ටැක්සිය බව දැන ගත්තෙමි.         

අනතුරුව පැපිළියානේ පිහිටි මගේ නිවස බලා ගමන කෙරිණි.මෙතෙක් වේලා පැවති වැහි පොද ගතිය ටික ටික වැඩි වෙන බවක්, ජනේල වීදුරුව මතට පතිත වන වැහි බිඳු වලින් පෙනුණි.සීදුව නගරය පහු කරනවාත් සමගම පොද වැස්ස මහ වැස්සක් බවට පත්වුණි.කොහුවල නගරයට ලඟා වන විට වැස්ස තරමක් තුරල් වෙමින් පැවතුණි.
     
''තේ කඩයක් ගාව පොඩ්ඩක් නවත්තන්න'' යි මම රියදුරාට කීවෙමි.

''හොඳයි සර්..''

ටික වේලාවකට පසු පේස්ට්‍රි ෂොප් එකක් ගාව රියදුරා වාහනය නතර කළේ ය.මම වාහනයෙන් බැස කඩය ඇතුලට ගියෙමි.ඇතුලට යන විට එක් මේසයක් ගාව වඩි වී සිටි  කාන්තාවක් මාගේ නෙත ගැටුණි.මා මොහොතකට නැවතී නැවත ඇය දෙස බැලුවෙමි.මොන තරම් අහම්බයක් ද,ඒ වෙන කවුරුත් නොව මා පාසල් කාලයේ පෙම් කළ ආදරවන්තිය යි.මා ඇය දෙසට යන විට ඇය ද මාව දුටුවා ය.

පුදුමයට පත් වූ දෑසින් ඇය බලා සිටියා ය.

''හිමංසා....'' යි මට කියැවිණි.

''අරෝෂ්....'' යි ඇයට ද කියැවිණි.

''ඔයාව දැක්ක කල්..කොහේ ද මෙච්චර කල් හිටියෙ..ඔතනින් ඉඳගන්න..දැන් මොනව ද කරන්නෙ..''යි ලෙස ඇය පුදුමයට පත් වූ දෑසින් යුතුව කියාගෙන ගියා ය.

මම අසල පුටුවේ වාඩි වූ වෙමි.

''ඔයාට කොහොම ද..'' යි මට ද කියැවුණි.

''මම හොඳින් ඉන්නව..ඔයා කොහෙද මෙච්චර කල් හිටියෙ..''

''මම..මම දැන් ඉන්නෙ ලන්ඩන් වල..ඒ දවස් වල.. අම්ම.. මුලින් කීවට.. මට එහේ යන්න ඕන වුනේ නෑ..ඒත් ඒ කාලෙ.. වුන ප්‍රශ්න වල හැටියට.. මට තව දුරටත් මෙහේ ඉන්න ඕන වුනේ නෑ..''

''ඒවා දැන් මතක් කරන්න එපා අරෝෂ්..ඒක අපේ ඉරණම වෙන්න ඇති..අවුරුදු පහලවකට පස්සෙ හරි ඔයාව දකින්න ලැබුණු එක ගැන මට සතුටු යි.ඒක නෙවෙයි මොනව ද දැන් කරන්නෙ.''

''කේම්බ්‍රිච් වුනිවර්සිටි එකේ ආචාර්ය උපාධි ය ගත්තට පස්සෙ මට ඒකෙම ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන් වුණා.තාමත් වැඩ කරන්නෙ එතන.අන්තිමට ලංකාවට ආවෙ මීට අවුරුදු දහයකට කලින්.ඒ ඇවිල්ලත් හිටියෙ සතියක් විතර.දැන් ආවෙත් විශේෂ වැඩකට.හෙට කොළඹ විශ්වවිද්‍යාලයෙ විශේෂ දේශනයකට එන්න කිව්ව.ඒක ඉවර කරල හෙට රෑම අයිත් යනව''

''ඇයි ඒ..''

''එහේ කරන්න ගොඩක් වැඩ තියෙනව..ඔයාගෙ විස්තර කොහොම ද ඉතින්''

''මං මැරි කරේ කැමැත්තකින් නෙවෙයි..තාත්තගෙ බලේට තමයි රොමේෂ්ව මැරි කරන්න වුනේ..හැබැයි අද වෙනකන් එයාගෙන් වරදක් වෙලත් නෑ..එයා ලෝයර් කෙනෙක්. එක දුවයි ඉන්නෙ..නම තත්සරණි..එයාගෙ ක්ලාස් එක ඉවර වෙන කම් ඉන්නෙ  තව ටිකකින් ගන්න යන්න..ඉතින් ඔයා මැරි කරේ කාව ද..''

''මං තාම මැරි කරේ නෑ..''

''ඇයි ඒ..''

''මගේ හිතෙ ඉන්නව එක්කෙනෙක්..මට ඒ වගේ කෙනෙක් තාම හමු වුනේ නෑ..''

''ඒ වුනාට මං කැමති නෑ ඔයා තනිකඩව ඉන්නව දකින්න..''

''ඒවා කාලයට අනුව විසඳේ වි..හරියට අවුරුදු දාහතරකට විතර පස්සෙ අපි දෙන්න මුණ ගැහුන වගේ..ඒක නෙවෙයි හිමංසා මට තව ඉන්න වෙලා නෑ..මං එහෙනම් යන්න ද..''

''හ්ම්..පරිස්සමින් යන්න අරෝෂ්..ඔයාගෙ හැම වැඩක්ම හොඳට සාර්ථක වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව..''

''ඔයත් හැමදාම සතුටින් ඉන්න කියල මං ප්‍රාර්ථනා කරනව හිමංසා..''

අපි දෙදෙනා මොහොතක් මද සිනා ඇතිව දෑසට දෑස බලා සිටියෙමු.හෙට දිනයේ කරන්නට වැඩ ගොඩක් ඇත.හිමංසාගෙන් සමුගෙන මා ඉක්මණින් ටැක්සිය වෙත ගියෙමි.ගෙවී ගිය මොහොත මාගේ දින පොතේ සුන්දරම මොහොතක් ලෙස ලියැවෙනු ඇත.
-----------
සමීර සම්පත්.

Wednesday, November 12, 2014

මිණි මුතු

ඝන අඳුරු බවින් මිදී
ඉන්නට නම් දිලී..
බොරළු කැට පසෙකලා
ටිකෙන් ටික..
මිණි මුතු කැට
එකතු කර ගනු මැන
විටින් විට..
------
සමීර සම්පත්.

Thursday, November 6, 2014

සන්නාලියේ..

සන්නාලියේ..
--------------------
ඔක්කම් සිනා පාමින්
ඔච්චම් වෙලා....
ඇඳුම් ගෙත්තම් කරමින්
ජීවිතේ දිනන්නට වෙහෙසෙනා..
සන්නාලියේ....
ගමරට ගොසින්
පවුල් වෙන දිනේ..
නිකටින් වැටෙනා
හැම දහඩිය බිඳු
මල් පැණි බිඳු වී
සුවඳ ගෙනෙයි....
-------------------
සමීර සම්පත්

වැස්ස..

වැස්ස..
-----
නුබ ගැබ ටික ටික
කළුවර වෙනවා..
සිහිල් සුළං රැලි
වටින් හමනවා..
ඩිංග ඩිංග පොද
බිංදු වැටෙනවා..
ගස් අතු රිති
දෙපසට හෙලවෙනවා..
මට දැනෙනවා
මං ජීවත් වෙනවා..
----
සමීර සම්පත්.

Saturday, November 1, 2014

දෙවෙන්දොරා සංගේ නො මළ ආදරය..

දෙවෙන්දොරා සංගේ නො මළ ආදරය..
-----------------
ඉනොකොෂිරා උයනේ
සකුරා මල් තරම්..
ඔබ ගැන ආදරෙන්
මගේ හිත පිරිලා..


තතමි පැදුර මත වැතිරිලා
ඉන්නට ආසයි තුරුලට වෙලා..
කබුකි රැඟුම් හලට ගොසින්
බලන්න ආසයි ඔබේ ළඟට වෙලා..

යනගි ගස් හෙවනට ගිහින්
වෙලී ඉමු උණුසුමට වෙලා..
මිදොරි අවන්හලට ඇවිත්
සෂිමි කවන්නම් ළඟට වෙලා..
----------------
සමීර සම්පත්.
(පාදක ග්‍රන්ථය-මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'මළගිය ඇත්තෝ' නවකතාව.)

මතක සිහිනේ..

මතක සිහිනේ..
---------------
මේ ආදර සිහිනය බොඳ වී
නිමවෙන්නේ කවදා දෝ..
ඒ හිරිමල් සිනහව සැමදා
සිහිවෙන්නේ යලි කිමදෝ..


නො සිතූ මොහොතක ජීවිතයේ..
ඔබේ සිනහා දෙතොල් දුටුවේ..
එදා දිනේ පටන් ආදරයෙන්..
මතක සිහිනේ හා බැඳුනේ..

ගුරු වදන් නෑ සවනට ඇසුනේ..
ඔබ ගැනමයි මා සිත සිතුවේ..
දහස් ගණන් සිසුවියන් අතරින්..
ඔබේ දෙනෙතටයි සිත බැඳුනේ..
-------------
සමීර සම්පත්.

පෙම් කළ තරම්..

පෙම් කළ තරම්..
------------
පාළු මාවතේ තනි වී
කවුරුවත් නැති වේලේ
කඳුළු දෙනෙතින් ගිලිහී
බිංදු වැටෙනා වේලේ


හිතට හැඟුනා
හදට දැනුනා
මා ඔබට පෙම් කළ තරම්....

සුළු දෙයක් මහා දෙයක් ලෙස
ඇයි කළේ යන්න නම්
මේ තරම් දුකක් නො වේ මට
සමු ගනිමු කීවා නම්

හිතට හැඟුනා
හදට දැනුනා
මා ඔබට පෙම් කළ තරම්....
-----------
සමීර සම්පත්.

රළ පෙරළිය (කෙටි කතාව)

රළ පෙරළිය (කෙටි කතාව)
-------------------------------------
එය දසුන්ගේ ජීවිතයේ සුන්දරම කාලය ලෙසයි ඔහුට දැනුනේ.එනම්,උසස් පෙළ ලියා අවසන් කර ගෙදරට වෙලා ඉන්න කාලය.තව විදියකින් කීවොත් විභාග මානසිකත්වයෙන් මිදී නිදහස් මානසිකත්වයෙන් පිරිණු කාලය.දසුන්ට එය එසේම විය.ඒ කියන්නෙ ජීවිතය සහ අනාගතය ගැන සමහරු වැඩියෙන් හිතන කලය.සමහරු අඩුවෙන් හිතන කාලය.ඒ කියන්නෙ ජීවිතය හරිගස්ස ගන්නත්-වරද්ද ගන්නත් පුළුවන් කාලය කීවොත් හරි.
ලා හිරු පායපු හිමිදිරියේ අම්මා උණු-උණු වේ හදල දුන්න තේ එකත් අතේ ඇතිව පුටු සැටියට බර වුණු දසුන් රිමෝට් එක අතට ගෙන ටී.වී එකේ විකාශනය වන රූපවාහිනී නාලිකා එකින් එක මාරු කර කර බලන්නට වූයේ තමාට රිසි වැඩසටහනක් නෙත ගැටෙනා තෙක් ය.ඒ අතර ඔහුගේ නෙත සහ අත නතර වූයේ 'රසවාහිනී' නාලිකාවේ විකාශනය වෙමින් තිබූ 'පුවත් පත් විත්ති' වැඩසටහන අභියසය.දවසේ පුවත් පත් වල ප්‍රධාන පුවත් සහ විශේෂ පුවත් සියල්ල පාහේ එම වැඩසටහන ඉදිරිපත් කරන්නා විසින් ප්‍රේක්ෂකයින්ට ප්‍රකාශ කර සිටියි.
රටේ දේශපාලනය ගැනවත් -ආර්ථිකය ගැනවත්-සමාජය ගැනවත් වැඩි තැකීමක් නො තිබුනත් දසුන්ට එම වැඩසටහන ඉඳහිට බැලීම පුරුද්දක් වී තිබුණි.වැඩසටහන් නිවේදකයා විසින් ඊළඟට කියවන්නට වූයේ 'දවස' පුවත් පතේ වාර්තා කර තිබූ පුවතකි.එහි සඳහන් වී තිබුනේ සංචාරක අමාත්‍ය වරයා විසින් පේර දිනයේ රැළියක දී කරන ලද ප්‍රකාශයකි.
''මේ රටේ තිස් අවුරුද්දක් තිස්සෙ තිබ්බ කුරිරු යුද්දෙ අපි ඉවර කරා.දැන් අපි ඉදිරියේ තිබෙන ඊළඟ අභියෝගය තමයි මේ රට සංවර්ධනය කිරීම.මේ වාගේ ස්වාභාව සෞන්දර්යයෙන් යුක්ත ලස්සන රටක් මේ ආසියානු කලාපයේම නැතුව ඇති.ඒක නිසා මේ රට සංවර්ධනය කරන්න පුළුවන් ප්‍රධාන සාධකය විදියට මම දකින්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම.අතිගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.එතුමාගේ ආශිර්වාදය අපිට නිරතුරුවම ලැබෙනවා කියලා මේ අවස්තාවේ දී මම ඉතා ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටිනවා.''
ඒ එක්කම ඊළඟ පුවත ද 'දවස' පත්තරේම පළ වූවකි.එහි සඳහන් වී තිබුනේ විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම් කරු විසින් කරන ලද්දකි.
''පහුගිය ආණ්ඩු වලින් කර ගෙන ආපු අධ්‍යාපනය කප්පාදු කිරීමේ වැඩපිළිවෙල,මේ ආණ්ඩුවෙනුත් දිගටම කරගෙන යන බවක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ.එදා අය-වැයෙන් වෙන් කරපු 6% යේ ප්‍රතිශතය අද වන විට 2% ටත් වඩා පහළ මට්ටමක ට බැහැල.අපි අහන්නෙ මේක ද නිදහස් අධ්‍යාපනය කියල කියන්නෙ?.''
දසුන්ට වැඩි වේලාවක් වැඩසටහට බලන්නට පුළුවන් වූයේ නැත.ඒ ඔහුගේ හොඳ ම මිතුරන් දෙදෙනා වන සහන් සහ සුරංග හදිස්සියේම ඇවිදින් අඬගසන්නට වූ බැවිනි.
''කළු මල්ලී....'' යි කියා සහන් ගේ කෑගසන හඬ දසුන්ට ඇසුනේ ය.
අතේ තිබුන තේ එක මේසෙ උඩ තියා..සරමත් හරි-බරි ගස්සගෙන දසුන් එලිපැත්ත දෙසට යන්නට විය.ඔවුන් පැමිණ සිටියේ ත්‍රී රෝද රතයකිනි.
''විගහට වරෙං....අමල් අයියාගේ අලුත් රෙස්ටුරන්ට් එක ඕපන් කරනවා..වරෙං යන්න..''යි
සහන් කීවේ ය.
''පොඩ්ඩක් හිටපන්..ඇඳුමක් දාගන්නකන්..''යි කියා දසුන් ඉක්මනට ගේ ඇතුලට ගියේ ය.
ඒ අතර සුරංග ඔවුන් පැමිණි ත්‍රී රෝද රථය නැවත පණ ගැන් වූ වේ ය.ටික වේලාවකට පසුව මකුළුවේ පිහිටි දසුන් ගේ නිවසේ සිට උණවටුනේ යද්දෙහිමුල්ල වෙරළ තීරයේ පිහිටි අමල් අයියාගේ අලුත් රෙස්ටුරන්ට් එක වන 'ෆන් රෙස්ට්' රෙස්ටුරන්ට් එක බලා ඔවුන්ගේ ත්‍රී විල ය ඉගිල්ලුනේ ය.
ඔවුන් එතනට යන විටත් ආරාධිත අමුත්තන් විසින් එය විවෘත කර හමාර ය.ඔවුන් රස කැවිලි කමින් සහ තේ බොමින් සිටියෝ ය.එහි සිටි ප්‍රධාන ආරාධිතයා යැයි සැලකිය හැකි පුද්ගලයා වෙන කව්වුරුත් නොව ප්‍රාදේශීය සභාවේ සභාපති බව දසුන්ට හඳුනා ගන්නට වැඩි වෙලාවක් ගියේ නැත.ටික වෙලාවකට පසු කැවිලි කා තේ බී අවසානයේ පුටු වලින් නැගී සිටි ආරාධිත පිරිස අමල් අයියාට සුභ ප්‍රාර්ථනා කර රථ වලට නැග පිටත් වුනෝ ය.
''දැන් ද බන් උඹල එන්නේ..ගිහින් අර රංග අයියාට පොඩ්ඩක් උදව් වෙයල්ලා..''යි තරුණයින් තිදෙනා දෙස බලමින් කියූ අමල් අයියා බියර් කේස් ගෙනාපු ත්‍රී රෝද කරුවෙකුට සල්ලි ගෙවන්නට ගියේ ය.
රංග පැත්තක ගොඩ ගසා තිබූ බීච් සන් බෙඩ් තවත් කෙනෙකු සමග එකතු උස්සා ගෙන ගොස් වැල්ලේ පිළිවෙලකට තබමින් සිටියේ ය.දසුන්,සහන් සහ සුරංග ද ඔවුන්ට එක් වී ගොඩ ගසා තිබුණු සන් බෙඩ් එකින් එක අරගෙන ගොස් වෙරළ තීරයේ දිගට තබන්නට විය.
සැප්තැම්බර් මාසයේ සංචාරක අසිරිය විදහා පාමින් විශාල විදේශික පිරිසක් උණවටුන වෙරළ තීරය ආක්‍රමණය කොට ගෙන තිබුණි.පැමිණ සිටින විදේශිකයින් පිරිස දකින විට මෙය ඔවුන්ගේ රටක් වැනි ය.ඒ තරමටම උණවටුන වෙරළ තීරය පිරී ඉතිරී ඇත්තේ දේශීය සංචාරකයින්ගෙන් නොව විදේශීය සංචාරකයින් ගෙනි.දේශීය සංචරකයින්ට වඩා විදේශිකයින් මේ වෙරළ තීරයට ආදරය කරන බවක් පෙනෙන්නට තිබුණි.ඔවුන් වෙරළ අසිරිය විඳින ගමන් පරිසරය පිරිසිඳුව තබා ගැනීමට ද වග බලා ගනි යි.
සුරංග බොඩ් ලෑල්ලක් මත දෙපා තබා ගෙන මුහුදු රැළි මත ලිස්සා යන ෂර්පින් ක්‍රීඩාවට ඉතා දක්ෂයෙක් විය.ඔහු සතුව ෂර්පින් බෝඩ් දෙකක් තිබුණි.ෂර්පින් බෝඩ් එකක් නොමැති විදේශිකයකු බොහෝ විට මුණගැසෙන්නේ සුරංගව ය.ඔහු සමහර වෙලාවට විදේශිකයින් සමග ෂර්පින් ක්‍රීඩා කරන විට ඔවුන්ටත් වඩා දස්කම් පෙන්වයි.විදේශිකයින් සමග ෂර්පින් ක්‍රීඩා කිරීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශය විය.
සහන් වැඩියෙන්ම කැමති වුයේ කළු මාම ගේ ග්ලාස් බෝට්ටුවේ ඔහුත් සමග විදේශිකයින්ව මුහුදු පතුලේ ඉන්න ලස්සන මළු බලන්නට එක්ක යාමට ය.ඉඳ හිට සුදු මාමාගේ මාළු අල්ලන බෝටුවේ ගොසින් ඔවුන් සමග මාළු අල්ලාගෙන ඒ මට ද ඔහු පුරුදු වී සිටියේ ය.දවසක් කාළු මාමා නොමැති වේලවක ඔහු ග්ලාස් බෝට්ටුවෙන් විදේශික පිරිසක් මුහුදු පතුලේ මාළු බැලීමට එක්ක ගියේ ය.ටික වේලාවකට පසු හදිස්සියේම මුහුදු රැල්ලක් සමග ඇති වූ ගැස්සීමකින් බෝට්ටුවත් එහි සිටි පිරිසත් පෙරළුණි.වහා ක්‍රියාත්මක වුණු තවත් බෝට්ටුවක පිරිසක් ඇවිත් මුහුදේ පාවී-පවී සිටි පිරිසව බේරා ගන්නා ලදි.එය සහන් විදේශිකයින් පිරිසක් සමග තනියම මුහුදු ගිය පළමු සහ අවසාන අවස්ථාව විය.
දසුන් දැනගෙන සිටියේ මුහුදේ පීනන්නට පමණකි.ඔහු වැඩි පුර ගැවසුනේ රෙස්ටුරන්ට් එකේ ය.එහි පැමිනෙණ සංචාරකයි ඇනවුම් කරන ආහාර පාන ආදිය ඔවුන් සිටින ස්ථාන වලට ගොස් ලාභා දීම ඔහුට ප්‍රිය විය.ඒ සමහර අවස්ථා වල දී විදේශිකයින්ගෙන් ඔහුට යම්කිසි සන්තෝසමක් ලැබෙයි.සමහරු රුපියල් පනහක් සියයක් ලබා දෙයි.එක සුද්දෙක් තමා සතු සන් ග්ලාස් එකක් ලබා දුන් විට ඔහු වඩා සතුටට පත් විය.දවසක් ජර්මන් සුද්දියො දෙන්නෙක්ට ලෙමන් ජූස් දෙකක් ලබා දීමට ගිය විට ඒ අතර සිටි මැදි වියේ යැයි සිතිය හැකි එකියක් ඔහුගේ කලු හමින් යුතු ශරීරය දෙස කෑදරව බැලූ හැටි ඔහුට කවදා වත් අමතක වෙන්නේ නැත.
සෑම සිකුරාදා දිනයක් ම 'ෆ්න් රෙස්ට්' එකට පැමිනෙණ සංචාරකයින්ට ඉතා විශේෂ දවසක් විය.එයට හේතුව එදින රාත්‍රි යේ දී එහි ඩී.ජේ පාටියක් පැවැත් වීමයි.රාත්‍රී 9 ට පටන් ගත්තාම සමහර දවස් වල පහුව දා උදේ 9.30 පමණ තෙක් එය පැවැත් වෙයි.ඒ විදේශිකයින් වැඩියෙන් සිටින දවස් වල ය.ඇතුල් වීම සඳහා විදේශිකයිගෙන් මුදලක් අය කරන්නේ නැත.ඔවුන්ට වියදම් වූයේ කෑම වලට සහ බියර් වලට පමණ ය.නමුත් දේශීය කෙනෙකුගෙන් ඇතුල් වීමට රු.1500ක් අය කරයි.එයට හෙතුව පහු ගිය දවස් වල පැමිණි දේශීය පුද්ගලයින්ගේ නො මනා හැසිරීම් නිසා ය.දැන් මුදල් ගෙවා පැමිණෙන්නේ මනා ලෙස හැසිරෙන ධනවත් ස්වදේශිකයින් පමණි.
දවසක් රාත්‍රියේ දී සුද්දෙක් සමග ටේබල් එකක බියර් බොමින් සිටි සිංහල කෙල්ලෙක් දසුන්ගේ නෙත ගැටුනි.ඔහුට ඇයව කොහේ දී හෝ දැක පුරුදු ය.ටික වේලාවක් යන විට ඔහුට හරියටම මතක් විය.ඇය පාසල් යන අවධියේ දී සමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගත් සිසුවියකි.සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඇය පාසල් අවේ නැත.එදායින් පසු ඇයව ඔහු දැකපු පළමු අවස්ථාව මෙය විය.ඇය ළඟට ගොසින් කතා කිරීමට සැරසෙත්ම පැමිණ සිටි සුද්දත් සමග ඇය පිටත් වූවා ය.
වෙරළේ දී මුණ ගැසෙන සමහර සුද්දන් දසුන්ගෙන් ගංජා-කුඩු-ටැබ්ලට් වැනි දෑ සොයා ගැනීමට හැකි දැයි විමසූ වාර ගණන අනන්තය.බඩු තියෙනවනම් මුදල කීයක් උනත් වියදම් කර ගැනීමට ඔවුන් සූදානම් ය.දවසක් අඩු ගානකට සුරංගට ගංජා පැකට් හතරක් හමු වී තිබුනි.ඔහු එයින් දෙකක් සුද්දෙකුට වික්කේ ඉතා වැඩි ගානකට ය.ඊට අමතරව ඔහු ත්‍රී වීල් හයර් දිවී ම පුරුද්දක් කරගෙන සිටියේ ය.ඒ සමහර අවස්ථා වල දී විදේශිකයෙක් හමු වූ විට සමාන්‍යයෙන් දේශීය පුද්ගලයකුගෙන් ගන්න ගාන වගේ දෙ ගුණයක් ඔහු විදේශිකයාගෙන් අය කරයි.එය මේ පළාතේ සෑම ත්‍රී වීල් කරුවෙකු කරන සුලභ දෙයකි.
දවසක් සිකුරාදා රෑ ඩී.ජේ පාටිය පැවැත්වෙමින් තිබිණි.වෙලාව රෑ 10 ට පමණ ඇත.දසුන් වැල්ලේ ගාල් කර තිබූ ඔරුවක් අසල වාඩි වී සිටියේ ය.ඩී.ජේ එක ගහන තැන තරුණ සුද්දියෝ තිදෙනෙක් සහ තවත් සුද්දො දෙන්නෙක් නට නට ඉන්නවා ඔහුට දුරට පෙනුණි.රෙස්ටුරන්ට් එකේ වැඩ කරන උදවිය යුහුසුළුව සංචාරකයින්ට අවශ්‍ය අහාර පාන ආදිය ලබා දෙමින් සිටියෝ ය.ඔහු තම කලින් සාක්කුවේ තිබුණ සිගරට් පැකට් එකෙන් එකක් ගෙන පත්තු කරගෙන උරන්නට විය.
ටික වේලාවකට පසු සුරංග ද ඔහු අසලට ඇවිත් වැල්ලේ හිඳගෙන සාක්කුවේ තුබුණු ගංජා පැකට් එකකුයි කාලා ඉවර වෙච්ච චොකලට් එකක ඊයම් කොලයකුයි එලියට ගත්තේ ය.සිගරට් දුම් පිට කරමින් දසුන් ඒ දෙස නිසොල්මනේ බලා සිටියේ ය.ටික වේලාවකින් සුරංග ගංජා සුරුට්ටුවක් සෑදුවේ ය.ඉන් පසුව දෙදෙනාම ගංජා සුරුට්ටුව මරුවෙන් මාරුවට උරමින් සිටින විට සහන් සුද්දෙක් ටිකක් බීලා ඉවර වෙච්ච විස්කි බෝතලයක් රැගෙන ආවේ ය.ටික වේලාවක් යන විට ති දෙනාම ගංජා-සිගරට්-විස්කි වලින් මත් වී ඔරුවට වාරු වී සිටියෝ ය.පොල් ගහක් බදා ගෙන සුද්දියෙක් වමනය කරන හැටි දසුන් ට බොඳ වී පෙනෙන්නට විය.
ඒ අතර බියර් බෝතල් දෙකක් අතින් ගත් සුද්දියෝ දෙදෙනෙක් ඔවුන් අසලට පැමිණියෝ ය. සුරංග ට හොඳටම නින්ද ගොසින් ය.එක සුද්දියෙක් තමන්ගේ කලිසමේ බොත්තම් ගලවා ශිප් එක අරින බව දසුන්ට දැනෙන්නට විය.අනිත් සුද්දි සහන් දෙසට හැරුනේ ය.එලෙසින් බමන මත් වූ රත්‍රි ය සරාගීව පහන් වන බවක් දසුන්ට දැනෙන්නට විය.
පැයෙන් පැය දවසින් දවස සතියෙන් සතිය කාලය ගෙවී යයි.දසුන් දැන් උසස් පෙළ ලියා අවසන් කර මාස හතරක් පමණ ගෙවී ගොස් ය.ඔහු දැන් ඉඳහිට ගෙදර යන්නේ සමහර දවස් වල රෑ වෙලා ය.සමහර දවස් වල දවල් ය.කෙසේ හෝ ඒ ගියත් වැඩි වෙලා ගෙදර ඉන්නේ නැත.මකුළුදූවේ නිවසත් යද්දෙහිමුල්ලේ 'ෆ්න් රෙස්ට්' එකත් දෙකක් නොව එකක් ලෙස ඔහුට දැනෙන්නට විය.
---------------------------------
සමීර සම්පත්

ආදරෙත් එක්ක විස්කි (කෙටි කතාව)

ආදරෙත් එක්ක විස්කි (කෙටි කතාව)
--------------------
උසස් පෙළ කරන කාලෙ ඉඳන් අපේ සෙට් එකට හිටපු පට්ට ෆිට් කෙල්ල තමයි තාරුකා කියන්නෙ.අපේ සෙට් එක කිව්වම රංගනයි,සචිත්‍රයි,භානුකයි,තාරුකායි,මමයි ගත්තම අපි ඔක්කොම පස් දෙනයි.ඒ කිව්වෙ අපිට ඊට වඩා යාළුවෝ හිටියෙ නෑ කියල නෙමෙයි.ඒ අතරිනුත් අපිට අපිව දැනුනේ දුකේ දිත්-සැපේ දිත් ළඟම හිටිය සැබෑ යහළුකමේ කෝශාර්ථයෙන්ම යහළුවන් සේ සිටින යහළුවන් හැටියට යි.

පෙර ආත්මයේ ඉඳන් පතා ගෙන ආපු පිනකටද මන් දන්නෑ අපි පස් දෙනාම කැම්පස් සෙට් වුණා.දැන් අපි කැම්පස් එකෙන් අවුට් වෙලත් ගොඩක් කල්.ඊයේ තමයි තාරුකා යුග දිවියට පිවිසුණු දවස.අද තමයි හෝම් කමින් එක.තාරුකා බැන්ඳෙ සදේශ් වික්‍රමාරච්චි කියන මිත්‍රයාව.තාරුකාට සදේශ් ව සෙට් වුණේ නීති පීඨයේ දි.අපිට සෙට් වුණේ ශාස්ත්‍ර පීඨය.තාරුකයි අපියි පීඨ වලින් වෙන් වුණාට යහළුකමින් වෙන් වුණේ නෑ.හබැයි තාරුකා තරම් සදේශ් අපිට ෆිට් වෙලා හිටියෙත් නෑ.

කොහොම හරි කාලා-බීලා නටල කරල,මනමාලිටයි මනමාලයටයි සුභ පතල ගෙදර එන්න සෙට් වුනෙත් කලින් සෙට් වෙලා ආපු විදියටම සචිත්‍රයගෙ කාර් එකේ.අපි හොටෙල් එකෙන් එළියට එනකොට වෙලාව රෑ 11ට විතර ඇති.පිටිපස්සෙ ශීට් එකේ මමයි,භානුකයි.ඉස්සරහ රංගනයා.සචිත්‍රයා කාර් එක ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා.ගල්කිස්ස බස් ස්ටෑන්ඩ් එක පරෙන් දාලා ගාලු පාරේ ටික දුරක් ගිහින් සචිත්‍රයා එකපාරම පාරේ අයිනට කරල කාර් එක නැවත්තුවා.

''ඇයි බං..'' රංගනයා ඇහුවා.

''බීච් එකේ යාළුවෙක්ගෙ රෙස්ටුරන්ට් එකක් තියෙනවා.එතනට ගිහිල්ල සෙට් වෙමු ද?''
සච්ත්‍ර ඇහුවා.

''ඇයි බං දැන් මෙච්චර බී පුවා මදි ද?''මං ඇහුවා.

''ඔව් බං..,හෙට ඉරිදා විතරයි දවසෙම ගෙදර ඉන්නෙ.දැන් මහන්සිත් එක්ක.ඔහොම්මම ගෙදර යමං..නිදිමතත් එක්ක.''ශීට් එකට ඔලුව බර කර ගන්න ගමන් ඇස් දෙක පියාගෙන භානුක කිව්වා.

''හොඳට හිතල බලපන් මචං..අපි ඔක්කොම සෙට් වුණේ මේ කාලෙකින්.ඒකත් තාරුකාගෙ වෙඩිං එක නිසා..සඳුදා ඉඳන් අයිත් වැඩට යන්න පටන් ගත්තම කවදා සෙට් වෙයි ද දන්නෙ නෑ..'' සචිත්‍ර කිව්ව.

''ඒක තමයි බං..වෙඩිං එකේ දි එච්චර බිව්වෙත් නෑ,වෙරි වෙලා චාටර් වෙයි කියලා.දැන් යමන්,ගිහින් කුඩු වෙන්න ගහමු.'' ආතල් හිනාවක් දාගෙන රංගනයා කිව්වා.

''මොක ද කියන්නේ..'' සචිත්‍රයා අපේ පැත්තට හැරිලා ඇහුවා.

''හරි එහෙනම් යමං..'' යි මං කිව්වා.

''භානුක..?'' යි සචිත්‍ර භානුක ගෙනුත් ඇහුවා.

''අව්ලක් නෑ..'' යි නිදිකිරමින් භානුකයා කිව්වා.

ටික වෙලාවකින් උසාවියගාව පාරෙන් දාලා ගල්කිස්ස බීච් එක ගාවට අපි ආවා.වෙඩිං එකේ දි බීපුවා පමනට වදින්න පටන් ගත්තෙ මුහුදු හුළඟෙ වැදි-වැදී බීච් එකේ ඇවිදින කොට.විනාඩි පහක් යන්න කලිං රෙස්ටුරන්ට් එක තියෙන තැනට අපි ආව.

''උඹලා පොඩ්ඩක් වාඩි වෙලා හිටපන්,මන් ගිහිල්ල එන්නම්'' කියල සචිත්‍ර යාළුවා ව හම්බ වෙන්න ගියා.

අපි ඇරෙන් එතන හිටියේ අන්තිමට අස්-පස් කරන වෙටර් කොල්ලො ටිකක් විතරයි.ටික වෙලාවකට පස්සෙ සචිත්‍රයයි යාළුවයි ආවා.සචිත්‍රගේ අතේ ග්ලාස් හතර.යාළුවගේ අතේ ස්කොච් විස්කි බෝතල් දෙකක්.

''උඹලට මේ දෙක මදි වුනොත් කියපන්,තව දෙකක් ඇතුලේ ඉතුරු වෙලා තියෙනවා.බඩු ඉවරයි බං.මං වැඩිය ලිකර් ගෙන්නෙ නෑ මචං.මොක ද ලයිසන් නෑනෙ.'' යාළුවා බෝතල් දෙක ටේබල් එක උඩ තියෙන ගමන් කිව්වා.

''ඒකට අව්ලක් නෑ..ඇයි උඹ සෙට් වෙන් නැද්ද..?'' රංගන ඇහුවා.

''බෑ මචං..මට පොඩි වැඩ වගයක් ඉතුරු වෙලා තියෙනවා..''

ඒත් එක්කම වේටර් මල්ලි කෙනෙක් ඇවිල්ල ඔම්ලට් බ්යිට් පිඟානක් ටේබල් එකෙන් තිබ්බ.ඊට පස්සෙ අපි හතර දෙනා සව්දිය පුරන්න පටන් ගත්ත.

''පළවෙනි ෂොට් එක තාරුකා ගේ වෙඩින් ලයිෆ් එක වෙනුවෙන්'' කියලා සචිත්‍රයා කියන ගමන් වීදුරු හතර එකිනෙක ගැටුනා.

ඒ විදියට බොන්න පටන් අරන් පැයක් විතර ගෙවිලා ගියා.භානුකට ටිකක් විතර වෙරි.රංගනය නම් රැල්ලෙ නො නවත්වා ටික ටික බොනවා.සචිත්‍රයටත් මද පමනට වැදිලා හිටියෙ.මටත් පොඩ්ඩක් විතර.හමා එන මුහුදු හුළඟ ට මද පමන වැඩි පමනට පෙරෙලන බවක් දැනුන.

''දන්නව ද මං උඹලට බොන්න අඬගැහුවෙ ඇයි කියලා..'' සචිත්‍රයා කිව්වා.

''නෑනේ..''රංගනයා හිනා වෙ වී කිව්වා.

''හිතේ දුකට බං..''

''ඒ කිව්වේ '' මං ඇහුවා.

''තාරුකා බැන්ඳ දුකට..''

''තාරුකා බැන්ඳ දුකට උඹ දුක් වෙලා හරි යනව ද බං..ඒකි ගෙ අම්මයි තාත්තයිත් හොඳට හිනා වෙලා හිටියා'' භානුකයා කිව්වා.

''උඹලා දන්නෙ නැති උනාට මං ඒකිට ඇත්තටම ආදරේ කරා බං..'' කියල සචිත්‍රය කිව්වා.

''නෑ..හත්තිලව්වයි..පොඩ්ඩක් ඉඳපන් මන් ඒකිට කෝල් එකක් අරගෙන කියන්න..'' යි කියලා රංගනයා වෙරි මර ගාතෙ ෆෝන් එක සාක්කුවල හොයන්න පටන් ගත්තා.

ඌ ෆෝන් එක අතට ගත්තු ගමන් 'මේ දීපන් කියල' මං උදුරල ගත්තා.වෙරි නිසාම ඌට ඒක ගානක් නෑ.ඒ ගමන් ම ඌ තව ෂොට් එකක් වීදුරුවට දා ගත්ත.

''උඹ දැන් ද ඕක කියන්නෙ..එහෙම නම් ඒකි ට කලින්ම කියන්න තිබ්බනෙ.'' භානුකය වීදුරුව මේසෙ උඩ තියන ගමන් කිව්ව.

''අහන්න හිටපු දවසෙ තමයි බං..අපි ගාවට ඇවිල්ල එදා ඒකි කිව්වෙ සදේශ්ට කැමැත්ත දුන්න කියලා''

''හරි දැන් ඉතින් පෙර හැර ගියාට පස්සෙ බලන් ඉඳලා වැඩක් නෑනෙ.දැන් ඒකි ගැන හිතන එක නවත්තපන්.'' යි මං කිව්වා.

එහෙම කියද්දිම ඌ තව විස්කි ටිකක් වීදුරුවට දා ගත්ත.බයිට් එකෙන් ටිකක් අරගෙන රංගනයා පුටුවෙන් නැගිටලා බීච් එක පැත්තට ගියා.ටික වෙලාවකට පස්සෙ භානුකත් වැනී වැනී බීච් එක පැත්තට ගියා.

''මට දැන් ලොකු දුකක් නෑ බං..ඒ ලෙවෙල් කාලෙ ඉඳන් හිතේ තියන් ඉඳපු දේ උඹල ඉස්සරහා කියන්න ලැබුණා.දැන් මගේ ඔලුවට අමුතු නිදහසක් දැනෙනවා.හැබැයි මං මැරෙනකම්ම තාරුකාට ආදරෙයි.හැබැයි එයා මේ ආත්මෙදි සදෙශ්ගේ වුණාට,ලබන ආත්මෙ දි මං එකීව ඌට දෙන්නෙ නෑ..'' කියලා සචිත්‍රයා අතේ තිබ්බ විස්කි වීදුරුව එක උගුරට හිස් කරා.

''එහෙම හිතන එක හොඳයි..'' කියල අන්තිම බොතලේ තිබ්බ අන්තිම විස්කි ටිකත් වීදුරුවට දාගන්න ගමන් මං කිව්ව.

''අපිත් යමු අරුන් ඉන්න තැනට'' යි කියල සචිත්‍රය පුටුවෙන් නැගිට්ට.

''යමන්..''කියල පේපර් සේවියට් එකකින් කට දෙපැත්ත පිහදා ගන්න ගමන් මමත් පුටුවෙන් නැගිට්ට.

අපි එතනට යන කොට භානුකයි රංගනයි වැල්ලෙ වාඩි වෙලා මුහුද දිහා බලගෙන මොන මොනව ද කියව කියව හිටියා.අපිත් උන් ළඟින් වාඩි වුණා.රංගනයට හොඳටම වෙරි වැඩි වෙලා ද කොහෙද.ඌ අමාරුවෙන් හඬ නගමින් ඈත මුහුදේ යාත්‍රා කරන නැව් ගණන් කරනවා.

''එකායි...දෙ කායි....තු නායි....''

නිමි
---------------------
සමීර සම්පත්.

තරුවක් සේ..

තරුවක් සේ..
---------------------
පිං මදි දෝ මේ සංසාරේ..
ඔබව කරගන්නට බාරේ..
සිත හඬනවානෙ අවාරේ..
ඔය නෙත් දකිනා වාරේ..

දෑඟිලි පටලා පෙම් බස් මුමුණා
ඇවිද ගිය මතකය සිහිවේ..
ආදරෙයි කියා කණට කෙඳුරූ
මිහිරි නාදය තවමත් රැව් දේ..

රෑ යම දිලිහී.. අළුයම ගිලිහී
නො පෙනී ඈතට යන තරුවක් සේ..
මා ළඟ සිටිමින්, ටික-ටික වෙන් වී
ඈතට යන්නට සිතුනේ කෙලෙසේ..
----------------
සමීර සම්පත්.