Sunday, January 25, 2015

බැස යන හිරු (කෙටි කතාව)

---------
හැන්දෑවෙ හතරාමාර විතර වෙද්දි එගොඩවත්ත මාවතේ පිහිටි මගේ නිවසින් පිටවෙලා වැල්ලදේවාල මාවත දිගේ උණවටුන වෙරළට ගිහින්-මුහුදු වෙරළේ ඇවිදල කරල-නැවත නිවසට එන එක,දැන් අවුරුදු තුනාමාරක් තිස්සෙ ඉඳල වගේ,මගේ දෛනික ජීවිතේ පුරුද්දක් වෙලා.වෙන දවස් වලට නම් හත විතර වෙද්දි ගෙදර එනව.ඒ ඇඟ-පත එහෙම හෝදගෙන ලෑස්ති වෙලා ටී.වි එකේ හතාමාරට යන නිව්ස් බලන්න ඕනෙ නිසා.මොකද,නිව්ස් බැලුවෙ නෑ කියන්නෙ එදා රෑට කෑවෙ නෑ වගේ තමයි.
ඒත් අද ගෙදර එන කොට බිත්ති ඔරලෝසුවේ සටහන්ව තිබ්බ වෙලාව දැක්කම මං පුදුම වුණා.වෙලාව නමයයි පහයි.වෙලාව ගිහින් දැනුනෙවත් නෑ..ඒක වුනේ මෙහෙමයි,අද මං ගෙස්ට් හවුස් එකකට වෙලා අඹ බීම වීදුරුවක් පානය කරමින් නිල් පාටට දිළිසෙන මුහුද රතු පාටාට බබළවමින් හිරු බැස යන හැටි බාලා ගෙන හිටිය.ටික වේලාවකට පස්සෙ විදේශීය කාන්තාවක් මගේ මේසය ළඟට ආව.පෙනුමෙ හැටියට නම් අවුරුදු හතලිස් පහක් විතර ඇති.

''මං මෙතනින් ඉඳගන්න ද?''යි ඇය සිනා මුසු මුහුණින් ඇහුව.

මං මොහොතක් පුදුම වී ඇය දෙස බලා ගෙන හිටියෙ ඇය සිංහලෙන් කතා කරපු නිසා.

''කමක් නෑ..ඉඳගන්න''යි මං කිව්ව.

''ස්තූතියි''

ඉන් පසුව ඇය වේටර්ට කියල බීම වීදුරුවක් ඇනවුම් කරා.

''මං පුදුම වුනා ඔබ තුමිය සිංහලෙන් කතා කිරීම ගැන''යි මං කිව්ව.

''හහ්..හා..ඒකට පුදුම වෙන්න එපා..මොකද මං දැන් අවුරුදු පහක් තිස්සෙ ඉඳන් ලංකාවෙ ඉන්නෙ.''යි ඇය මද සිනා ඇතිව කිව්ව.

''ඇත්තට..''

''ඔව්..දැන් මාසයක් විතර ඇති උණවටුනෙ පදිංචියට ඇවිල්ලා..එතකන් හිටියෙ හික්කඩුවෙ.''

''හ්ම්..මගේ නම වික්ටර්..හඳුනා ගැනීම සතුටක්..''යි මං අත දිගු කරමින් කිව්ව.

''මම සාරා..''යි අතට අත දෙන ගමන් ඇය කිව්ව.

ඇගේ බීම එක වේටර් ගෙනත් දුන්න.ඒ අතර මගේ ඇස් වෙරළ දිහාවට යොමු වුනා.සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් වෙරළ දෙසට ඇදී එනව.සමහරු නානව.සමහරු සෙල්ලම් කරනව.දවස පුරා කෑම හොයාගෙන ගිය කුරුල්ලො කැදලි කරා පියඹා යනව.ධීවරයෝ පිරිසක් ඔරුවක් වතුරට තල්ලු කර ගෙන යනව.මේ දෙවල් දිහා සැහැල්ලු සිතින් මං ටිකක් වෙලා බල ගෙන හිටියා.

''ඔබ තුමියගේ රට මොකද්ද?''යි ටික වෙලාවකින් මං ඇහුව.

''ප්‍රංශය''යි ඇ‍ය බීම වීදුරුව මේසය උඩ තියන ගමන් කිව්ව.

''මෙහේ ඉඳන් මොනව හරි කරනව ද?''

''ඔව් ළාමා නිවාස වලට ආධාර කරනව.ඒ ළමයින් එක්ක ගොඩක් වෙලාවට සතුටින් කාලය ගත කරනව.ඔබ තුමා..?''

''මං දැන් විශ්‍රාමිකයි..රේගු දෙපාර්තමේන්තුවෙ වැඩ කරේ..දුවයි පුතයි දෙන්නම විවාහ වෙලා..දුව නම් දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ,පුතා ඉන්නෙ කොළඹ..බිරිඳ නැති වෙලා දැන් අවුරුදු හතරක් වෙනව''

''හරිම කණගාටුයි''

''මං හිතන් හිටියෙ එයාට කලින් මං නැති වෙයි කියල.මොනව කරන්න ද ජීවිතේ හැටි තමයි.''

නො දැනීම හිරු බැස ගිහින් සඳු නැග ඇවිල්ලා.අහස පුරා පැහැදිලිව තාරුකා දිළෙනව.ඈත දියඹේ විදුලි එළියෙන් බැබළෙමින් නැව් යාත්‍රා කරනවා.වෙරළ තීරයේ වැඩි හරියක් ඉතුරු වෙලා හිටියෙ රාත්‍රියට ප්‍රිය කරන විදේශීය සංචාරකයින් විතරයි.

''වයසට යන්න යන්න ජීවිතේ අගය වැඩි වැඩියෙන් දැනෙනව.ඉර බැහැ ගෙන යන හැටි බලන් හිටියම මගේ හිතට සැහැල්ලුවක් දැනෙනව වගේම පුංචි දුකකුත් දැනෙනව..මොකද ඒ කියන්නෙ තව දවසක් ඉවරයි කියන එකනෙ''යි සාරා කිව්ව.

''ඒක ඇත්ත..සමහර දේවල් වල වටිනා කම පෙනෙන්නෙ ගොඩක් කල් ගත වුනාම..මං ආසයි අප්‍රිකාවෙ යන්න.කොන්ගො වනාන්තරයෙ සංචාරයක් කරන්න.''මං කිව්ව.

''ඒක නම් හොඳ අදහසක්..ඔබ තුමාගෙ වයසෙ හැටියට ඒ වගේ ගමනක් ඔරොත්තු දෙයි ද දන්නෙ නෑ..විශේෂයෙන් කෑලේක ඇවිදින්න යනව කියන්නෙ''

''ඒක නම් ඇත්ත.''

''මොකද මං දන්න ජර්මන් මහත්මයෙක්ට එහෙම වුනා.එයා හුඟක් ආසයි දුවන්න.එයා ආසයි හැමදාම උදේට කඳු-හෙල් තරණය කරමින් දුවන්න.එයා අන්තිමට අන්තරා වුනේ එහේ කැලෑවක දුවමින් ඉන්න කොට.ඔලුවෙ නහරයක් පුපුරල.''ඇය කිව්ව.

''හ්ම්,හැබැයි ඒ මහත්මයගේ මරණය ස්වාභාවිකයි කියලයි මට නම් හිතෙන්නෙ..''

''හහ්..හහ්..හා..'' ඇය සිනාසුනා.

''දිගටම ලංකාවෙ ඉන්න ද කැමති.වෙන රටකට සංචාරය කරන්න යන්න එහෙම අදහසක් නැද්ද..?''මං ඇහුව.

''තාම නම් මෙහෙන් යන්න හිතිල නෑ..තව දුරටත් මෙහේ ඉන්න ආසයි''

''හ්ම්..''

ඊට පස්සේ අපි කතා නො කර ගොඩක් වෙලා හිටියා.කතා කරන්න තරම් දෙයක් තිබුනෙත් නෑ..ගත-සිත සැහැල්ලු කරමින් මුහුදු හුළං රැල්ලක් අප වටා දැවෙටෙමින් හමාගෙන ගියා.වෙරළේ හැපෙන රළ සද්දයත්-තැනින් තැන ඉඳන් කතා කරන අයගෙ හඬත්-ගෙස්ට් හවුස් එකේ දාල තිබ්බ ආදර බර ඉංග්‍රීසි ගීතයත් ඇහෙන කොට අපි නිශ්ශබ්ද්දව හිටියා.

''එහෙනම් මට යන්න වෙලාව හරි..ඔබතුමා එක්ක කතා කිරීමට ලැබීම සතුටක්..නැවත වෙලාවක හමුවෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.''යි ටික වෙලාවකට පස්සෙ මා දෙසට අත දිගු කරන ගමන් ඇය කිව්ව.

''හොඳයි..මටත් දැන් නිව්ස් බලන්න යන්න තියෙනව..''යි අතට අත දෙන ගමන් මං කිව්ව.

ඉන් පසුව හිනාවෙලා ඇය ගියා.ටික වෙලාවක් මං එ'තනම වාඩි වෙලා මුහුද දිහා බල ගෙන හිටියා.මං ඉඳපු මේසයට මේස දෙක තුනක් එහායින් හිටිය තරුණ විදේශික පෙම් යුවලක් සෙමින් දෙතොල් සිප ගත්ත.මං පුටුවෙන් නැගිට-බිල ගෙවා-එන්න ආවා.

නිමි.
--------
සමීර සම්පත්.

No comments:

Post a Comment