Friday, January 16, 2015

ඡායාරූපශිල්පයේ උපත (birth of photography) - 01


හැඳින්වීම

භෂාව නො දත් ප්‍රාග් ඓතිහාසික මානවයා දඩයමේ යන විට තමා දුටු විශේෂ සිදුවීමක් හෝ අත්දැකීමක්  තවත් කෙනෙකුට ප්‍රකාශ(සන්නිවේදනය) කිරීමට භාවිතා කරන ලද්දේ අංග චලනයන්(අභිනයන්) හා සිතුවම් ය.එම ක්‍රම තුළ බොහෝ දුර්වලතා ඉස්මතු විය.එනම් අදහස පැහැදිලිව කියා ගැනීමට නො හැකි වීම සහ කල් තබා ගැනීමට නො හැකි වීම යි.පසු කාලීනව භාෂාව සොයා ගැනීමත් සමඟ මානව සන්නිවේදනය ඉතා දියුණු මට්ටමකට පැමිණියේ ය.නමුත් දකින දෙයක් පැහැදිලි ලෙස සටහන් කර ගෙන මතක තබා ගැනීමේ ක්‍රමයක් මානවයාට අවශ්‍ය විය.ඒ අනුව දියුණු මානවයා විවිධ අත්හදා බැලීම් කරන ලදි.එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ කැමරාව නැමති උපකරණය නිර්මාණය කර ගන්නා ලදි.(Camera යන වචනයට දෙන ප්‍රධාන අර්ථ විග්‍රහයක් වන්නේ 'ආලෝකයෙන් ඇඳීම ' යන්න යි.)

පින්හෝල් කැමරාව (pinhole camera)

පින්හෝල් කැමරාව යනු කැමරාවේ ප්‍රාථමික අවධිය යි.එය තනි හතරැස් පෙට්ටියකි.එහි බිත්තියක කුඩා සිදුරක් සාදා ඇත.එම කුඩා සිදුරෙන් ඇතුළට එන ආලෝකය ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති බිත්තියට පතිත වේ.ඒ අනුව පිටත එම සිදුර ඉදිරියෙන් යම් වස්තුවක් තිබුණ විට,එම වස්තුවේ ප්‍රතිරූපයක් යටි කුරු ලෙස ඇතුළත නිර්මාණය වේ.මෙම ඡායාරූප ක්‍රමය solargraphy ලෙස ද හඳුන්වයි.මෙම පින්හෝල් ක්‍රමය පිළිබඳව චීන දාර්ශනික මෝ ඩි(Mo Di) සහ ග්‍රීක ගණිඥ්‍යයින් වන ඇරිස්ටෝටල් හා යුක්ලිඩ් ක්‍රි.පූ.5 වන සහ 4වන සියවස් වල දී අදහස් පළ කර ඇත.පසුව නිර්මාණය වුණු කැමරා ඔබ්ස්කියුරා(camera obscura)වට පාදක වූ අඩිතාලම වන්නේ මෙම පින්හෝල් කැමරාව යි.


pinhole camera 



කැමරා ඔබ්ස්කියුරාව (camera obscura)

පින්හෝල් ක්‍රමය වැඩි දියුණු කරමින් කැමරා ඔබ්ස්කියුරාව නිර්මාණය වී ඇත.මෙහි දී ආලෝකය පතිත වන ස්ථානයට කැඩපතක් තබා ඇත.එම කැඩපතට වැටුණු ආලෝකය ඉහළ බිත්තියට පරාවර්තනය වේ.එවිට රූපය නිර්මාණය වන්නේ ඉහළ බිත්තිය මතය.මෙහි දී එම ස්ථානයට ඝන පෘෂ්ඨයක් වෙනුවට කඩදාසියක් භාවිත කර ඇත.ක්‍රි.ව.1558 දී ඉතාලි විද්‍යාඥ දෙල්ලා පොර්තො මෙම ක්‍රමය ගැන විස්තර කර ඇත.මෙය පුනුරුද සමයේ චිත්‍රශිල්පීන් විසින් චිත්‍ර ඇඳීම සඳහා භාවිතා කර ඇත.ක්‍රි.ව.1600-1800 කාලය තුළ චිත්‍ර ඇඳීම සඳහා මෙම ක්‍රමය ජනප්‍රිය වී ඇත.කැමරා ඔබ්ස්කියුරාව ඉතාලි භාෂාවෙන් හඳුන්වන්නේ 'අඳුරු කුටිය' ලෙස යි.

camera obscura



පළමු ඡායාරූපය (first photograph)  

කැමරා ඔබ්ස්කියුරාවට නාභි(focus) ගත කර ගත හැකි කාචයක් යොදා ගෙන වැඩි දියුණු කර පසුව ක්‍රි.ව.1826 දී පමණ ප්‍රථම ඡායාරූපය නිෂ්පාදනය කර ගැනීමට ප්‍රංශ ජාතික ජෝශප් නිසෙපෝර් නීට්සේ(joseph nicephore niepce) සමත් විය.එය ඡායාරූප ශිල්පයේ නිල වශයෙන් ආරම්භය ලෙස පිළිගත හැකි ය.මෙම ඡායාරූපයට ඔහු හසු කර ගත් දර්ශනය වන්නේ ඔහු පදින්චිව සිටි ප්‍රංශයේ ශාන්ත ලොප් ඩි වෙරෙන්ස් නමැති ප්‍රදේශයේ-ලෙ ග්‍රාස් නමැති ගොඩනැගිල්ලේ- කාමරයේ-ජනේලයෙන් පිටත පෙනෙන දර්ශන යයි.ඔහු භාවිතා කළ තාක්ෂණයේ විශේෂත්වය වූයේ ආලෝකය පතිත වන ස්ථානයට 'ප්‍යුටර්' නම් ලෝහ තහඩුවක් භාවිතා කර,ඒ මත 'සුදු බිටුමන්' නමැති ආලේපයක් භාවිතා කර තිබීම යි.ඒ මතට ආලෝකය වැටුණු ස්ථාන ඝන වූ අතර ආලෝකය නො වැටුණු තැන් මෘදු බවට පත් විය.මෙම මෘදු කොටස ගැසොලින් මිශ්‍ර තෙලෙන්(ලැවැන්ඩර්) සෝදා හැරිය විට ඝන වූ කොටස ඡායාරූපයක් ලෙස ඉතුරු විය.මෙම ඡායාරූපය නිර්මාණය කර ගැනීමට ඔහුට පැය 8ක පමණ අනාවරණ(expose) කාලයක් ගත විය.

 first photograph

මතු සම්බන්ධයි..

-----
සමීර සම්පත්.

4 comments:

  1. ඉතාම වටින තොරතුරු ටිකක්. ඔබේ ප්‍රයත්නය බොහෝ අගය කරනවා. දිගු ගමනකට ආසිරි..

    ReplyDelete
  2. අැත්තට ම වටිනා ලිපියක්.............. දිගට ම මේ ගැනත් ලියමු

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ඔබේ අදහසට..

      Delete