Friday, April 10, 2015

අම්බලමේ පිනා


 ''අම්බලමේ  පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා
ඒකට මට හිනා''

මෙය කුඩා ළමයාගේ සිට වැඩිහිටියා දක්වා අපි හැමෝම දන්නා කට වහරේ ඇති ජන කවියකි.මෙම කවිය නිර්මාණාත්මක ලෙස දිගු කර මුල් කවියේ අර්ථයට සාපේක්ෂව වෙනස් වූ අපූරු අර්ථයක් හැඟවෙන ලෙස රචනා කරන ලද කවි පෙළක් පසු ගිය දා එනම්,2015-04-09 වන බ්‍රහස්පතින්දා දිවයින වටමඬල අතිරේකයේ පල විය.එය මෙසේ ය,

අම්බලමේ පිනා

අම්බලමේ පිනා
වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා
නොවනු එයට හිනා

තව දිනයක පිනා
කදත් රැගෙන එනා
පුරුදු පරිදි ගොනා
කද බිඳගෙන යනා

ඉන් නොසැලෙන පිනා
කරබාගෙන එනා
යළිදු වළං තනා
කදත් රැගෙන යනා

මහ මඟ එන පිනා
දුටුව පරණ ගොනා
පිම්මෙන් දිවගෙනා
යයි කද බිඳගෙනා

දුකම පුරුදු පිනා 
යළිදු  ගෙදර එනා
තණ මිටියක් මනා
කද බැඳගෙන එනා

ඔහුව දැකපු ගොනා
හෙමිහිට ළං වුණා
තණ මිටියට ගොනා
කෙමෙන් වසඟ වුණා

හීන්සැරේ පිනා
මිතුරු කරන් ගොනා
යළි නිවසට එනා
කරත්තයක් තනා

අම්බලමේ පිනා
වළං ගැලකි ගෙනා
ඒක අදින ගොනා
ඒකට මට හිනා....

සුදේශ් කවීශ්වර
කැලණිය විශ්වවිද්‍යාලය
(2015-04-09/දිවයින-වටමඬල)

මෙහි දී කවියා මුලින්ම කරන්නේ සම්ප්‍රධායික මුල් කවියේ හතරවන පදය වෙනස් කිරීමයි.එනම් 'ඒකට මට හිනා' යන්න 'නොවනු එයට හිනා' ලෙස යි.ඉන් පසුව සමස්ත පැදි පෙළම නිර්මාණය වන්නේ ඒ වෙනස මත පිහිටා ය.ඒ අනුව ඊළඟ කවියෙන් කියවෙන්නේ පිනා නැවත වළං කදත් රැගෙන එන බව යි.එය සාම්ප්‍රධායික කවියේ තිබ්බ ආකෘතියටම අනුව ශබ්ද රසය රකිමින් ඉතා රසවත්ව කවියා පවසන්නේ මෙසේ ය.

තව දිනයක පිනා
කදත් රැගෙන එනා
පුරුදු පරිදි ගොනා
කද බිඳගෙන යනා

ඒ අවස්ථාවේ දී ද ගොනා ඇවිත් වළං කඳ බිඳියි.නමුත් එයින් නො සැලෙන පිනා නැවත වළං කදක් රැගෙන පුරුදු මාවතේම යයි.කවියා එය සරල බස් වහරින් පවසන්නේ මෙසේ ය.

යළිදු වළං තනා
කදත් රැගෙන යනා

මේ අනුව පළමු කවි හතරෙන්ම කියවෙන්නේ පිනා වළං කද රැගෙන ඒමත් ගොනා එය බින්ඳීමත් ය.අවස්ථා හතරක දී උගත් පාඩමට අනුව පිනා මෙම ගැටලුවෙන් මිදීමට අලුත් උපක්‍රමයක් භාවිතා කරයි.ඒ අනුව පිනා වළං කදේ වළං වෙනුවට තණ කොළ අරගෙන එයි.
  
දුකම පුරුදු පිනා  
යළිදු  ගෙදර එනා
තණ මිටියක් මනා
කද බැඳගෙන එනා

වළං දුටු විට හානි කිරීමට දිව එන ගොනා තණ මිටි දැකපු ගමන් එසේ එන්නේ නැත.පිනාගේ මෙම අපූරු උපක්‍රමය සාර්ථක  වෙයි.ඒ අනුව තණ කොළ නිසා ගොනාව හීලෑ කර ගැනීමට පිනාට හැකි වේ.

හීන්සැරේ පිනා
මිතුරු කරන් ගොනා

දැන් ඉතින් ඉස්සර ඉඳන් අමාරුවෙන් වළං කද කරේ තියාගෙන ගිය පිනාට එසේ දුක් විඳීමට අවශ්‍ය නැත.ඔහු ඒ වෙනුවට ගොන් කරත්තය භාවිතා කරයි.කවියා එය රසිකයාට චිත්ත රූප මැවෙන ආකාරයට පවසන්නේ මෙසේ ය.
  අම්බලමේ පිනා
වළං ගැලකි ගෙනා
ඒක අදින ගොනා 
ඒකට මට හිනා....

සම්ප්‍රධායික කවියේ හතර වන පද පේළිය එනම්,'ඒකට මට හිනා' යන්න කවියා මෙහි අවසාන කවියේ හතර වන පද පේළියට උපහාසාත්මකව භාවිත කරයි.එයින් පෙනෙන්නේ කවියා උපතින්ම ගෙනා ප්‍රතිභා ශක්තිය යි.තවද කවියක තිබිය යුතු ප්‍රසාද ගුණය නැති නම් පැහැදිලි බව සුදේශ් කවීශ්වර කවියාගේ මෙම සමස්ත පැදි පෙළ තුළම දක්නට ඇත.ඒ අනුව මුල් කවියට වඩා වෙනස් අකාරයකින් අම්බලමේ පිනාගේ කතාව මේ විදියට නිර්මාණය කිරීමෙන් පෙනී යන්නේ කවියා නිතර කවි කියවන-රසවීඳින-අධ්‍යනය කරන ඉතා හොඳ පරිකල්පනයක් ඇති කෙනෙකු බවයි.
----
සමීර සම්පත්.

5 comments:

  1. සමීර.....................

    අගෙයි හොද නිර්මාණයක් අලලා ලියා අැති විචාරය..... කැළණිය විශ්වවිද්‍යාලයේ සහෝදරයාටත් ස්තූති කරන්න අවශ්‍යයි... අැත්තටම අගනා පණිවුඩයක් ඒ තුළ ගැබ්ව තියෙනවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට....

      Delete
  2. බ්ලොගර් ෆලෝවර් එක දාන්න

    ReplyDelete