Tuesday, January 27, 2015

මරණය

මරණය මහ ලොකු
දෙයක් ද?
මේ භවයේ දීම
මිනිසුන්
නො මැරී-මැරී
ඉපිදෙන විට
----
සමීර සම්පත්.

Sunday, January 25, 2015

බැස යන හිරු (කෙටි කතාව)

---------
හැන්දෑවෙ හතරාමාර විතර වෙද්දි එගොඩවත්ත මාවතේ පිහිටි මගේ නිවසින් පිටවෙලා වැල්ලදේවාල මාවත දිගේ උණවටුන වෙරළට ගිහින්-මුහුදු වෙරළේ ඇවිදල කරල-නැවත නිවසට එන එක,දැන් අවුරුදු තුනාමාරක් තිස්සෙ ඉඳල වගේ,මගේ දෛනික ජීවිතේ පුරුද්දක් වෙලා.වෙන දවස් වලට නම් හත විතර වෙද්දි ගෙදර එනව.ඒ ඇඟ-පත එහෙම හෝදගෙන ලෑස්ති වෙලා ටී.වි එකේ හතාමාරට යන නිව්ස් බලන්න ඕනෙ නිසා.මොකද,නිව්ස් බැලුවෙ නෑ කියන්නෙ එදා රෑට කෑවෙ නෑ වගේ තමයි.
ඒත් අද ගෙදර එන කොට බිත්ති ඔරලෝසුවේ සටහන්ව තිබ්බ වෙලාව දැක්කම මං පුදුම වුණා.වෙලාව නමයයි පහයි.වෙලාව ගිහින් දැනුනෙවත් නෑ..ඒක වුනේ මෙහෙමයි,අද මං ගෙස්ට් හවුස් එකකට වෙලා අඹ බීම වීදුරුවක් පානය කරමින් නිල් පාටට දිළිසෙන මුහුද රතු පාටාට බබළවමින් හිරු බැස යන හැටි බාලා ගෙන හිටිය.ටික වේලාවකට පස්සෙ විදේශීය කාන්තාවක් මගේ මේසය ළඟට ආව.පෙනුමෙ හැටියට නම් අවුරුදු හතලිස් පහක් විතර ඇති.

''මං මෙතනින් ඉඳගන්න ද?''යි ඇය සිනා මුසු මුහුණින් ඇහුව.

මං මොහොතක් පුදුම වී ඇය දෙස බලා ගෙන හිටියෙ ඇය සිංහලෙන් කතා කරපු නිසා.

''කමක් නෑ..ඉඳගන්න''යි මං කිව්ව.

''ස්තූතියි''

ඉන් පසුව ඇය වේටර්ට කියල බීම වීදුරුවක් ඇනවුම් කරා.

''මං පුදුම වුනා ඔබ තුමිය සිංහලෙන් කතා කිරීම ගැන''යි මං කිව්ව.

''හහ්..හා..ඒකට පුදුම වෙන්න එපා..මොකද මං දැන් අවුරුදු පහක් තිස්සෙ ඉඳන් ලංකාවෙ ඉන්නෙ.''යි ඇය මද සිනා ඇතිව කිව්ව.

''ඇත්තට..''

''ඔව්..දැන් මාසයක් විතර ඇති උණවටුනෙ පදිංචියට ඇවිල්ලා..එතකන් හිටියෙ හික්කඩුවෙ.''

''හ්ම්..මගේ නම වික්ටර්..හඳුනා ගැනීම සතුටක්..''යි මං අත දිගු කරමින් කිව්ව.

''මම සාරා..''යි අතට අත දෙන ගමන් ඇය කිව්ව.

ඇගේ බීම එක වේටර් ගෙනත් දුන්න.ඒ අතර මගේ ඇස් වෙරළ දිහාවට යොමු වුනා.සංචාරකයින් පිරිසක් රැගත් බෝට්ටුවක් වෙරළ දෙසට ඇදී එනව.සමහරු නානව.සමහරු සෙල්ලම් කරනව.දවස පුරා කෑම හොයාගෙන ගිය කුරුල්ලො කැදලි කරා පියඹා යනව.ධීවරයෝ පිරිසක් ඔරුවක් වතුරට තල්ලු කර ගෙන යනව.මේ දෙවල් දිහා සැහැල්ලු සිතින් මං ටිකක් වෙලා බල ගෙන හිටියා.

''ඔබ තුමියගේ රට මොකද්ද?''යි ටික වෙලාවකින් මං ඇහුව.

''ප්‍රංශය''යි ඇ‍ය බීම වීදුරුව මේසය උඩ තියන ගමන් කිව්ව.

''මෙහේ ඉඳන් මොනව හරි කරනව ද?''

''ඔව් ළාමා නිවාස වලට ආධාර කරනව.ඒ ළමයින් එක්ක ගොඩක් වෙලාවට සතුටින් කාලය ගත කරනව.ඔබ තුමා..?''

''මං දැන් විශ්‍රාමිකයි..රේගු දෙපාර්තමේන්තුවෙ වැඩ කරේ..දුවයි පුතයි දෙන්නම විවාහ වෙලා..දුව නම් දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ,පුතා ඉන්නෙ කොළඹ..බිරිඳ නැති වෙලා දැන් අවුරුදු හතරක් වෙනව''

''හරිම කණගාටුයි''

''මං හිතන් හිටියෙ එයාට කලින් මං නැති වෙයි කියල.මොනව කරන්න ද ජීවිතේ හැටි තමයි.''

නො දැනීම හිරු බැස ගිහින් සඳු නැග ඇවිල්ලා.අහස පුරා පැහැදිලිව තාරුකා දිළෙනව.ඈත දියඹේ විදුලි එළියෙන් බැබළෙමින් නැව් යාත්‍රා කරනවා.වෙරළ තීරයේ වැඩි හරියක් ඉතුරු වෙලා හිටියෙ රාත්‍රියට ප්‍රිය කරන විදේශීය සංචාරකයින් විතරයි.

''වයසට යන්න යන්න ජීවිතේ අගය වැඩි වැඩියෙන් දැනෙනව.ඉර බැහැ ගෙන යන හැටි බලන් හිටියම මගේ හිතට සැහැල්ලුවක් දැනෙනව වගේම පුංචි දුකකුත් දැනෙනව..මොකද ඒ කියන්නෙ තව දවසක් ඉවරයි කියන එකනෙ''යි සාරා කිව්ව.

''ඒක ඇත්ත..සමහර දේවල් වල වටිනා කම පෙනෙන්නෙ ගොඩක් කල් ගත වුනාම..මං ආසයි අප්‍රිකාවෙ යන්න.කොන්ගො වනාන්තරයෙ සංචාරයක් කරන්න.''මං කිව්ව.

''ඒක නම් හොඳ අදහසක්..ඔබ තුමාගෙ වයසෙ හැටියට ඒ වගේ ගමනක් ඔරොත්තු දෙයි ද දන්නෙ නෑ..විශේෂයෙන් කෑලේක ඇවිදින්න යනව කියන්නෙ''

''ඒක නම් ඇත්ත.''

''මොකද මං දන්න ජර්මන් මහත්මයෙක්ට එහෙම වුනා.එයා හුඟක් ආසයි දුවන්න.එයා ආසයි හැමදාම උදේට කඳු-හෙල් තරණය කරමින් දුවන්න.එයා අන්තිමට අන්තරා වුනේ එහේ කැලෑවක දුවමින් ඉන්න කොට.ඔලුවෙ නහරයක් පුපුරල.''ඇය කිව්ව.

''හ්ම්,හැබැයි ඒ මහත්මයගේ මරණය ස්වාභාවිකයි කියලයි මට නම් හිතෙන්නෙ..''

''හහ්..හහ්..හා..'' ඇය සිනාසුනා.

''දිගටම ලංකාවෙ ඉන්න ද කැමති.වෙන රටකට සංචාරය කරන්න යන්න එහෙම අදහසක් නැද්ද..?''මං ඇහුව.

''තාම නම් මෙහෙන් යන්න හිතිල නෑ..තව දුරටත් මෙහේ ඉන්න ආසයි''

''හ්ම්..''

ඊට පස්සේ අපි කතා නො කර ගොඩක් වෙලා හිටියා.කතා කරන්න තරම් දෙයක් තිබුනෙත් නෑ..ගත-සිත සැහැල්ලු කරමින් මුහුදු හුළං රැල්ලක් අප වටා දැවෙටෙමින් හමාගෙන ගියා.වෙරළේ හැපෙන රළ සද්දයත්-තැනින් තැන ඉඳන් කතා කරන අයගෙ හඬත්-ගෙස්ට් හවුස් එකේ දාල තිබ්බ ආදර බර ඉංග්‍රීසි ගීතයත් ඇහෙන කොට අපි නිශ්ශබ්ද්දව හිටියා.

''එහෙනම් මට යන්න වෙලාව හරි..ඔබතුමා එක්ක කතා කිරීමට ලැබීම සතුටක්..නැවත වෙලාවක හමුවෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.''යි ටික වෙලාවකට පස්සෙ මා දෙසට අත දිගු කරන ගමන් ඇය කිව්ව.

''හොඳයි..මටත් දැන් නිව්ස් බලන්න යන්න තියෙනව..''යි අතට අත දෙන ගමන් මං කිව්ව.

ඉන් පසුව හිනාවෙලා ඇය ගියා.ටික වෙලාවක් මං එ'තනම වාඩි වෙලා මුහුද දිහා බල ගෙන හිටියා.මං ඉඳපු මේසයට මේස දෙක තුනක් එහායින් හිටිය තරුණ විදේශික පෙම් යුවලක් සෙමින් දෙතොල් සිප ගත්ත.මං පුටුවෙන් නැගිට-බිල ගෙවා-එන්න ආවා.

නිමි.
--------
සමීර සම්පත්.

Friday, January 23, 2015

හමුවේවි..

----
මං ගියේ වෙන පාරක
නුඹ ගියේ තව පාරක
ඒත් මේ පාරවල් දෙක
හමුවෙන හන්දියක්
කොහේ හරි ඇති..
අන්න එ'තැනදි
අපි නැවත හමුවේවි..
ඒ වෙලාවට..?
----
සමීර සම්පත්.

Friday, January 16, 2015

ඡායාරූපශිල්පයේ උපත (birth of photography) - 01


හැඳින්වීම

භෂාව නො දත් ප්‍රාග් ඓතිහාසික මානවයා දඩයමේ යන විට තමා දුටු විශේෂ සිදුවීමක් හෝ අත්දැකීමක්  තවත් කෙනෙකුට ප්‍රකාශ(සන්නිවේදනය) කිරීමට භාවිතා කරන ලද්දේ අංග චලනයන්(අභිනයන්) හා සිතුවම් ය.එම ක්‍රම තුළ බොහෝ දුර්වලතා ඉස්මතු විය.එනම් අදහස පැහැදිලිව කියා ගැනීමට නො හැකි වීම සහ කල් තබා ගැනීමට නො හැකි වීම යි.පසු කාලීනව භාෂාව සොයා ගැනීමත් සමඟ මානව සන්නිවේදනය ඉතා දියුණු මට්ටමකට පැමිණියේ ය.නමුත් දකින දෙයක් පැහැදිලි ලෙස සටහන් කර ගෙන මතක තබා ගැනීමේ ක්‍රමයක් මානවයාට අවශ්‍ය විය.ඒ අනුව දියුණු මානවයා විවිධ අත්හදා බැලීම් කරන ලදි.එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ කැමරාව නැමති උපකරණය නිර්මාණය කර ගන්නා ලදි.(Camera යන වචනයට දෙන ප්‍රධාන අර්ථ විග්‍රහයක් වන්නේ 'ආලෝකයෙන් ඇඳීම ' යන්න යි.)

පින්හෝල් කැමරාව (pinhole camera)

පින්හෝල් කැමරාව යනු කැමරාවේ ප්‍රාථමික අවධිය යි.එය තනි හතරැස් පෙට්ටියකි.එහි බිත්තියක කුඩා සිදුරක් සාදා ඇත.එම කුඩා සිදුරෙන් ඇතුළට එන ආලෝකය ප්‍රතිවිරුද්ධ දිශාවේ ඇති බිත්තියට පතිත වේ.ඒ අනුව පිටත එම සිදුර ඉදිරියෙන් යම් වස්තුවක් තිබුණ විට,එම වස්තුවේ ප්‍රතිරූපයක් යටි කුරු ලෙස ඇතුළත නිර්මාණය වේ.මෙම ඡායාරූප ක්‍රමය solargraphy ලෙස ද හඳුන්වයි.මෙම පින්හෝල් ක්‍රමය පිළිබඳව චීන දාර්ශනික මෝ ඩි(Mo Di) සහ ග්‍රීක ගණිඥ්‍යයින් වන ඇරිස්ටෝටල් හා යුක්ලිඩ් ක්‍රි.පූ.5 වන සහ 4වන සියවස් වල දී අදහස් පළ කර ඇත.පසුව නිර්මාණය වුණු කැමරා ඔබ්ස්කියුරා(camera obscura)වට පාදක වූ අඩිතාලම වන්නේ මෙම පින්හෝල් කැමරාව යි.


pinhole camera 



කැමරා ඔබ්ස්කියුරාව (camera obscura)

පින්හෝල් ක්‍රමය වැඩි දියුණු කරමින් කැමරා ඔබ්ස්කියුරාව නිර්මාණය වී ඇත.මෙහි දී ආලෝකය පතිත වන ස්ථානයට කැඩපතක් තබා ඇත.එම කැඩපතට වැටුණු ආලෝකය ඉහළ බිත්තියට පරාවර්තනය වේ.එවිට රූපය නිර්මාණය වන්නේ ඉහළ බිත්තිය මතය.මෙහි දී එම ස්ථානයට ඝන පෘෂ්ඨයක් වෙනුවට කඩදාසියක් භාවිත කර ඇත.ක්‍රි.ව.1558 දී ඉතාලි විද්‍යාඥ දෙල්ලා පොර්තො මෙම ක්‍රමය ගැන විස්තර කර ඇත.මෙය පුනුරුද සමයේ චිත්‍රශිල්පීන් විසින් චිත්‍ර ඇඳීම සඳහා භාවිතා කර ඇත.ක්‍රි.ව.1600-1800 කාලය තුළ චිත්‍ර ඇඳීම සඳහා මෙම ක්‍රමය ජනප්‍රිය වී ඇත.කැමරා ඔබ්ස්කියුරාව ඉතාලි භාෂාවෙන් හඳුන්වන්නේ 'අඳුරු කුටිය' ලෙස යි.

camera obscura



පළමු ඡායාරූපය (first photograph)  

කැමරා ඔබ්ස්කියුරාවට නාභි(focus) ගත කර ගත හැකි කාචයක් යොදා ගෙන වැඩි දියුණු කර පසුව ක්‍රි.ව.1826 දී පමණ ප්‍රථම ඡායාරූපය නිෂ්පාදනය කර ගැනීමට ප්‍රංශ ජාතික ජෝශප් නිසෙපෝර් නීට්සේ(joseph nicephore niepce) සමත් විය.එය ඡායාරූප ශිල්පයේ නිල වශයෙන් ආරම්භය ලෙස පිළිගත හැකි ය.මෙම ඡායාරූපයට ඔහු හසු කර ගත් දර්ශනය වන්නේ ඔහු පදින්චිව සිටි ප්‍රංශයේ ශාන්ත ලොප් ඩි වෙරෙන්ස් නමැති ප්‍රදේශයේ-ලෙ ග්‍රාස් නමැති ගොඩනැගිල්ලේ- කාමරයේ-ජනේලයෙන් පිටත පෙනෙන දර්ශන යයි.ඔහු භාවිතා කළ තාක්ෂණයේ විශේෂත්වය වූයේ ආලෝකය පතිත වන ස්ථානයට 'ප්‍යුටර්' නම් ලෝහ තහඩුවක් භාවිතා කර,ඒ මත 'සුදු බිටුමන්' නමැති ආලේපයක් භාවිතා කර තිබීම යි.ඒ මතට ආලෝකය වැටුණු ස්ථාන ඝන වූ අතර ආලෝකය නො වැටුණු තැන් මෘදු බවට පත් විය.මෙම මෘදු කොටස ගැසොලින් මිශ්‍ර තෙලෙන්(ලැවැන්ඩර්) සෝදා හැරිය විට ඝන වූ කොටස ඡායාරූපයක් ලෙස ඉතුරු විය.මෙම ඡායාරූපය නිර්මාණය කර ගැනීමට ඔහුට පැය 8ක පමණ අනාවරණ(expose) කාලයක් ගත විය.

 first photograph

මතු සම්බන්ධයි..

-----
සමීර සම්පත්.

Thursday, January 15, 2015

කැස්බෑවා (sea turtle)


කැස්බෑවා යනු මුහුද ආශ්‍රිතව ජීවත් වන උරග විශේෂයකි.බොහෝ විට කැස්බෑවන් ජීවත් වන්නේ නිවර්තන හා උපනිවර්තන මුහුදු ප්‍රදේශ වල ය.ඒ නමුත් ඔවුන් සෑම විට සමස්ත සාගරය හරහා සංක්‍රමණය වේ.කැස්බෑවන් අතරින් ගැබ් ගත් කැස්බෑ මවක් බිත්තර දැමීම සඳහා වෙරළට ගොඩ වීම හැර ඔවුන්ගේ මුළු ජීවිත කාලයම ගත කරන්නේ මුහුදු ජලයේ ය.විශේෂයෙන් මුහුදු කැස්බෑවන් මිරිදිය ඉබ්බන්ට වඩා විශාල යැයි සැලකේ.ලොව පුරා සිටින කැස්බෑ ජනගහනයේ සංඛ්‍යාව නිශ්චිත නැත.මොවුන් බොහෝ විට සංසර්ගයේ යෙදෙන්නේ මාර්තු-ඔක්තොම්බර් මාස වල දී ය.තවද,ප්‍රධාන වශයෙන් මොවුන් ආහාරයට ගනු ලබන්නේ මුහුදු පැලෑටි,ඉස්සන්,ගොළු බෙල්ලන්,ඇල්ගී හා මොලූස්කාවන් ය.

සංසර්ගයෙන් පසුව ගැබ් ගත් වැඩිහිටි ගැහැණු කැස්බෑවන් රාත්‍රියේ දී ගොඩ බිමට පැමිණෙ‍යි.පසුව බිත්තර දැමීම සඳහා සෙන්ටි මීටර 40 සිට 50 දක්වා පමණ ගැඹුරු සිදුරක් කවාකාර අත් භාවිතා කරමින් වෙරළේ හාරයි.බිත්තර 50 සිට 350 ත් අතර ප්‍රමාණයක් එක් කැස්බෑ මවක් එහි දී ප්‍රසූත කරයි.ඉන් පසුව වැලි වලින් ඒවා වැසීම සිදු කරයි.මෙම සමස්ථ ක්‍රියාවලියටම විනාඩි 36ක් පමණ ගත වේ.ඉන් පසුව ඇය බිත්තර හැර සාගරයට යයි.වැලි යට තිබුණ බිත්තර වලින් මාස දෙකකට පමණ පසුව පැටව් එළියට එයි.ඉන් පසුව ඔවුන් වෙරළ දිගේ බඩගාමින් ගොස් සාගරයට ඇතුලු වෙයි.









අද වන විට මෙම කැස්බෑවන් වඳ වීමේ තර්ජනයට පත් වී ඇත.එයට ප්‍රධාන හේතුවක් වශයෙන් අතීතයේ පටන් මිනිසා විසින් කැස්බෑවන් ආහාරයට ගැනීම දැක්විය හැකිය.සමහර වෙලාවට කැස්බෑවන්ගේ කටු වල ඇති වටිනාකම නිසා දඩයමට ලක් වී ඇත.කැස්බෑවන්ගේ ශරීරයේ විවිධ කොටස් මිනිසුන්ගේ සපත්තු සහ විවිධ භාණ්ඩ වලට භාවිතා කර ඇත.එම නිසා කැස්බෑවන් දඩයම් කිරීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස ලෝකයේ පිළිගෙන ඇත.Tortuguero ප්‍රථම මුහුදු කැස්බෑවන් සංරක්ශණය කිරීමේ මූලස්ථානය ලෙස සැලකේ.1960 ගණන් වල දී කැස්බෑවන් ඝාතනය වැඩි වී ඇත.එම නිසා කැරීබියානු සංරක්ශණ සංස්ථාව මුහුදු කැස්බෑවන් සංචාරක ව්‍යාපාරයට (සංචාරකයින්ට දැක ගැනීමට)පාදක කර ගැනීමට ගම්වාසීන් සමග එකතු විය.එම නිසා අදටත් වාර්ෂිකව සංචාරකයින් දහස් ගණනක් කැස්බෑවන් දැක ගැනීමට Tortuguero වෙත පැමිණෙයි.
(කෙසේ නමුත් පුරාණ පේරු(peru) Moche ජනතාව මුහුදු සත්ත්වයින් නමස්කාර කර ඇත.ඔවුන්ගේ එම කලාව තුළ බොහෝ විට මුහුදු කැස්බෑවා නිරූපණය වී ඇත.)

අද වන විට විශේෂයෙන් කැස්බෑවන් කොටස් හතකට වර්ගීකරණය කොට ඇත.පිළිවෙලින්,

1.ලෙදර්බැක් කැස්බෑවා(Leatherback sea turtle).
2.කොළ කැස්බෑවා(Green sea turtle).
3.ලොගර්හෙඩ් කැස්බෑවා(Loggerhead sea turtle).
4.කෙම්ප්ස්ගේ රිඩ්ලි කැස්බෑවා(Kemp's ridley sea turtle).
5.හොක්ස්බිල් කැස්බෑවා(Hawksbill sea turtle).
6.ෆ්ලැට්බැක් කැස්බෑවා(Flatback sea turtle).
7.ඔලිව් රිඩ්ලි කැස්බෑවා(Olive ridley sea turtle).

ලෙස පෙන්වා දිය හැක.

(මේ අතරින් කැස්බෑ විශේෂ හතරක් ICUN රතු ලැයිස්තුව මත වඳ වීමේ තර්ජනයට ලක් වූවන් ලෙස ලැයිස්තු ගත කර ඈත.භූ ගෝලීය වශයෙන් කෙම්ප්ස්ගේ රිඩ්ලි සහ හොක්ස්බිල් දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක් වූවන් ලෙස සැලකේ.)

 1.ලෙදර්බැක් කැස්බෑවා(Leatherback sea turtle).


ලෙදර්බැක් කැස්බෑවන් ඕනෑම සාගර පෙදෙසක දැකිය හැකි ය.බොහෝ විට උතුරු ඇලස්කාවේ-නෝර්වේ-අප්‍රිකාවේ හා නවසීලන්තයේ මුහුදු ප්‍රදේශ වල ව්‍යාප්ත වී ඇත.අත්ලාන්තික්,නැගෙනහිර පැසිෆික් සහ බටහිර පැසිෆික් කලාප වල දැකිය හැකි ය.ඉන්දියානු සාගරයේ ද ලෙදර්බැක් කැස්බෑ ජනගහනය සාමාන්‍යයෙන් පවතී.
විද්‍යාත්මක නාමය-(Dermochelys coriacea).

2.කොළ කැස්බෑවා(Green sea turtle).


කොළ කැස්බෑවා කළු මුහුදු කැස්බෑවා සහ හරිත කැස්බෑවා ලෙස ද හඳුන්වයි.ලොව පුරා නිවර්තන සහ උපනිවර්තන මුහුදු පෙදෙස් වල දැකිය හැකි යි.මොවුන් වැඩි වශයෙන් ශාක භක්ෂික වේ.කොළ මුහුදු කැස්බෑවා ද දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක් වී ඇත.
විද්‍යාත්මක නාමය-(Chelonia mydas).

 3.ලොගර්හෙඩ් කැස්බෑවා(Loggerhead sea turtle).


ලොගර්හෙඩ් කැස්බෑවා සමාන්‍යයෙන් රතු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී.මොවුන් අත්ලන්තික් සාගරය,පැසිෆික් සහ ඉන්දියන් සාගරයේ වගේම මධ්‍යධරණී මුහුදු කලාපයේ දී ද ඇත.මෙම කැස්බෑවන් වයස 17-33ත් අතර කාලය තුළ දී ලිංගික පරිණත බව ලබයි.තවද මොවුන් වසර 47-67ත් අතර කාලයක් ජීවත් වෙයි.ධීවරයින්ගේ ක්‍රියාකාරකම් නිසා බොහෝ විට මොවුන් වඳ වීමට ලක් වී ඇත.
විද්‍යාත්මක නාමය-(Caretta caretta).

4.කෙම්ප්ස්ගේ රිඩ්ලි කැස්බෑවා(Kemp's ridley sea turtle).


මෙම කැස්බෑ විශේෂය අත්ලාන්තික් මුහුදු කැස්බෑවා ලෙස ද හඳුන්වයි.මොවුන් දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක් වී ඇත.මෙම වර්ගයේ වැඩි හිටි කැස්බෑවන් දිගින් අඩි 2ක් පමණ වේ.බර පවුම් 100ක් පමණ වේ.මොවුන්ගේ හිස ත්‍රිකෝණාකාර හැඩයක් ගනී.මෙම කැස්බෑවන් නො ගැඹුරු ජලයේ මූලික වශයෙන් කකුළුවෝ ආහාරයට ගනිමින් ජීවත් වෙයි.
විද්‍යාත්මක නාමය-(Lepidochelys kempii).

5.හොක්ස්බිල් කැස්බෑවා(Hawksbill sea turtle).


මෙම කැස්බෑ විශේෂය ද දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක් වී ඇත.මොවුන් අත්ලාන්තික්,පැසිෆික් සහ ඉන්දියන් සාගරය අවට ව්‍යාපත වී පවතී.මොවුන්ගේ පෙනුම සාමන්‍යයෙන් පැතලි හැඩයක් ගනී.මොවුන් නො ගැඹුරු කලපු සහ කොරල් පර අතර ජීවිතයේ වැඩි කාලයක් ගත කරයි.මොවුන් ධීවරයින්ගේ ක්‍රියාවන් නිසා වඳ වීමේ තර්ජනයට ලක් වී ඇති බව ලෝක සංරක්ෂණ සංගමය නම් කොට ඇත.
විද්‍යාත්මක නාමය-(Eretmochelys imbricata).

 6.ෆ්ලැට්බැක් කැස්බෑවා(Flatback sea turtle).


මොවුන් ඕස්ට්‍රේලියානු මහද්වීපයට ආවේණික කැස්බෑ විශේෂයකි.බොහෝ විට ඕස්ට්‍රේලියාවේ උතුරු වෙරළ තීරයේ සහ පැපුවා නිව් ගිනියාවේ-නො ගැඹුරු ජලයේ-බොකු-කොරල් පර සහ මෝය ආශ්‍රිතව දැකිය හැක.
විද්‍යාත්මක නාමය-(Natator depressus).

7.ඔලිව් රිඩ්ලි කැස්බෑවා(Olive ridley sea turtle).


මෙම කැස්බෑවා පැසිෆික් මුහුදු කැස්බෑවා ලෙස ද හඳුන්වයි.ප්‍රධාන වශයෙන් පැසිෆික් සහ ඉන්දියන් සාගරයේ දී දැක ගත හැකි යි.මොවුන්ගෙන් වැඩිහිටි පිරිමි කැස්බෑවන් කිලෝ ග්‍රෑම් 33ක් පමණ බර වන අතර,වැඩිහිටි ගැහැණු කැස්බෑවන් කිලෝ ග්‍රෑම් 33-45ත් අතර වේ.මෙම විශේෂය දකුණු අප්‍රිකාව-ඕස්ට්‍රේලියාව-නවසීලන්තය-දකුණු ඉන්දියාව-අරාබිය-ජපානය-පැසිෆික් ඉන්දියන් සාගරයේ නිවර්තන කලාපයේ ව්‍යප්තව පවතී.
විද්‍යාත්මක නාමය-(Lepidochelys olivacea).
---------------
 ඒ අනුව කැස්බෑවන්ගේ මූලික විස්තර ඉහත දැක් වූ පරිදි වේ.අද වන විට වඳ වීමේ තර්ජනයට මුහුණ පා සිටින කැස්බෑවන් සංරක්ෂණය කිරීමට ලෝකයේ බොහෝ සංවිධාන-ආයතන-ව්‍යාපෘති බිහි වී තිබේ.ඒ අතරින් ශ්‍රී ලංකාවේ කොස්ගොඩ මුහුදු කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියට ද විශේෂ ස්ථානයක් හිමි වේ.ලෝකයේ සියලුම සත්ත්ව කොටස් අතරින් යමක් සිතා බලා බුද්ධිමත්ව කිරීමේ හැකියාව තිබෙන්නේ මිනිසාට පමණි.එම නිසා විචිත්‍රවත් මේ ලෝකයේ ගහ-කොළ,ඇල-දොළ,සතා-සිව්පාවා විනාශ කිරීම නොව,ආරක්ෂා කර රැක බලා ගැනීම මිනිසා සතු පරම වගකීම යි.

---------
සමීර සම්පත්.
(සැ.යු-මෙම ලිපිය මා  සකස් කළේ අන්තර්ජාලයේ සැරිසැරීමෙන් ඉගෙන ගත් කරුණු වලට අනුව ය.සියලුම ඡායාරූප Google Images වලින් ලබා ගත් ඒවා ය.මෙම ලිපිය මගින් මා උත්සහ කළේ කැස්බෑවන් සම්බන්ධව මූලික අවබෝධයක් නො දන්නා අයට ලබා දීමට ය.එම නිසා  කැස්බෑවන් සම්බන්ධව ඔබට මීට වඩා අධ්‍යයනය කිරීම සහ කරුණු සොයා ගත හැකි ය.)

Monday, January 12, 2015

පෙම් සිත

සොඳුරු නෙත් දෙක
දුටුව දින සිට
සිහිනයක් බව
දැනම තව තව
නුඹේ වත ගොත
සොයමි හැම විට.
දකින හැමදාම
ඔබ ගැන
පාරවයි මේ මගේ
පෙම් සිත.
දරා ගත නො හැකි
ඒ හැම විට
මුදා හලේ දුක
කවි ලියන
පන්හිඳ
----
සමීර සම්පත්.