Wednesday, April 8, 2015

ඩියාගෝ ගාර්සියා(diego garcia)

ඩියාගෝ ගාර්සියා යනු දූපතකි.නමුත් එය ගස්-වැල්,මල්-පළතුරු,සත්තුන්ගෙන් පමණක් සමන්විත පාරදීසයක් නොවේ.ඒ වෙනුවට මෙහි බහුලව ඇත්තේ පතොරම්,බෝම්බ,අවි,ප්‍රහාරක ගුවන් යානා,මිසයිල වැනි දේවල් යැයි කීවොත් වඩා නිවැරදි ය.ඊට හේතුව අද වන විට මෙම දූපත එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක කටයුතු සඳහා යොදා ගන්න බැවිණි.මෙය පිහිටා තිබෙන්නේ මධ්‍යම ඉන්දීය සාගරයේ දකුණු සමකයට ආසන්නව ය.ටැන්සානියාවේ සිට සැතපුම් 2167 ක් නැගෙනහිරින් ද,ඉන්දියාවේ සිට සැතපුම් 1116 ක් දකුණු-නිරිත දිගින් ද,ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළ තීරයේ සිට සැතපුම් 2935 ක් දුරින් ද මෙම දූපත පිහිටා තිබේ.



මෙය කුඩා දූපත් 60 න් සමන්විත චාගෝස් දූපත් සමූහයේ විශාලම දූපතයි.ප්‍රංශය යටතේ තිබ්බ මෙම දූපත් නැපෝලියන් යුද්ධයෙන් පසුව ක්‍රි.ව.1814 දී අත්සන් කරන ලද පැරීස් ගිවිසුමට අනුව එක්සත් රාජධානියේ පාලනයට නතු විය.එතැන් පටන් ක්‍රි.ව.1965 දක්වා මෙය එක්සත් රාජධානියේ ජනපදයක් බවට පත්විය.ඉන් පසුව ක්‍රි.ව.1966 දෙසැම්බර් 30 දින සිට 2016 දෙසැම්බර් දක්වා වන වසර 50 ක කාලයක් ආරක්ෂක අරමුණු සඳහා භාවිතා කිරීමට එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය ගිවිසුමකට එකඟ විය.



එම ගිවිසුම තවත් වසර විස්සකින් එනම්,2036 දක්වා දීර්ඝ කර ගැනීමට 2014 දෙසැම්බර් වල දී රටවල් දෙක අතර සාකච්ඡා ඇති විය.මෙහි ප්‍රහාරක ගුවන් යානා ගුවන් ගත කර හැකි ගුවන් පතයක් ඇති අතර
ප්‍රහාරක සබ්මැරීන් සහ නැව් ගාල් කර හැකි වරායක් ද ඇත.අදවන විට මෙහි එක්සත් ජනපදයට අයත් අති නවීන ප්‍රහාරක ගුවන් යානා හා සබ්මැරීන ස්ථාන ගත කොට ඇත.1991 දී ඇති වූ ගල්ෆ් යුද්ධයේ දී වගේම විවිධ අවස්ථා වල දී ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ පැවති යුධ ගැටුම් සඳහා අවශ්‍ය ආරක්ෂක සහය එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය මෙම දූපතේ ඇති ඔවුන්ගේ කඳවුරු වලින් ලබා ගෙන ඇත.



මෙය ඉන්දීය සාගරයේ බ්‍රිතන්‍යය ප්‍රදේශය (British Indian Ocean Territory) ලෙස ද හඳුන්වයි.මෙහි 3000-5000 ත් අතර ජනගහනයක් පවතින අතර ඔවුන් හමුදා හා සිවිල් වැසියන්ගෙන් සමන්විත වේ.තවද,ත්‍රස්තවාදයට සම්බන්ධ සැකකරුවන් ද මෙහි රඳවා ගෙන ඇතැයි ද සැලකේ.ඒ අනුව 2004 දී ඇමරිකාව විසින් ගෙන යන ලද ''ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය යුද්ධය(Global War On Terror)'' වැඩසටහනේ දී අත් අඩංගුවට පත් වූ පුද්ගලයින් රඳවා තබා ගැනීමට හා වධ හිංසා කිරීමට මෙම දූපත භාවිතා කර බවට මත පල විය.ඒවා අදටත් රහස් පමණි.ඒ අනුව ඩියාගෝ ගාර්සියා යනු ඉන්දියන් සාගරය ඇතුළු දකුණු ආසියාතික කලාපයේ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය සතු විශාලම ආරක්ෂක මධ්‍යස්ථානය ලෙස හැඳින්වීම වඩා නිවැරදි ය.
----
සමීර සම්පත්.

2 comments: