Sunday, March 15, 2015

ප්‍රේමය හැඳින්නෙමි..

                                    

ලෝකයේ බිහි වී ඇති බොහෝ කලා කෘතීන් වලට තේමාව වී ඇත්තේ 'ප්‍රේමය' බව අපි කවුරුත් දන්නා කරුණකි.ඒ අතරිනුත් ගීත කලාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වන බව අවිවාදිතය.නිර්මාණකරුවාට ප්‍රේමයේ සැබෑ මනෝභාවය දැනුන සහ හැඟුන විදිය ප්‍රතීයමාන වන ගීත,සිංහල ගීත සාහිත්‍යයේ ද අපට අපමණව හමුවේ.ප්‍රේමය ඉතා සංකීර්ණ මනෝභාවයක් වූ අවස්ථා වල දී දැනෙන හැඟෙන හැමදෙයක්ම වචන වලට පෙරළීම ඉතා දුෂ්කර කාර්යයකි.ඒ අනුව ලියැවුණු සරල පද සහිත පෙම් ගීත ද,සංකීර්ණ පද සහිත පෙම් ගීත ද අපිට නිරතුරුව ඇසෙති.ඒ අතරිනුත් ඉතාම සරලව සහ පැහැදිලි විදියට සැබෑ ප්‍රේමයේ මනෝභාවය මේ තරම් විශිෂ්ට විදියට ලියැවුණු තවත් සිංහල ගීතයක් ඇති ද,
                                   
                                ''ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා..
                                  ඔබේ කතා ළඟ සිත නැවතුනු දා..
                                  ප්‍රේමය හැඳින්නෙමි..''

ඇත්තටම ප්‍රේමයේ සිතුවිලි වල ආකර්ශනය ප්‍රථමයෙන්ම ඇතිවන්නේ රූපයට ය.ඒ භාවයන් පිටට නො පෙනන නිසා විය හැකි ය.තරුණියක් නම් කඩවසම් තරුණයකුට ද,තරුණයෙක් නම් සියුමැලි තරුණියකට ද ඇලුම් කිරීම රූපයේ එම ප්‍රබල බව විදහා දක්වයි.සැබෑ ප්‍රේමයේ උප්පත්තිය සිදුවන්නේ එලෙස තමා කැමති සුන්දර රූපය ළඟ සිත නතර වූ විට ය.ගීතයේ පළමු පද තුනෙන් අර්ථවත් වන්නේ එය යි.ජගත් වික්‍රමසිංහයන් එම අර්ථය අපි කාටත් සමීපව දැනෙන ලෙස ගායනා කරයි.මෙම ගීතයට අපි කවුරුත් කැමති ඒ නිසා ය.අතීතයේ දී යුධ වීරයන්ගේ කතා වගේම ප්‍රේම වීරයන්ගේ කතා ද අපට හමුවෙයි.රෝමියෝ-ජුලියට්,ජැක්-රෝස්,කුස-පබා,ජෝදා-අක්බර් කවුරුත් දන්න හඳුනනා නිදසුන් වේ.නමුත් මෙම ගීතයේ පද රචකයා ඒ කිසිවෙක් මායිම් නො කරයි.ඔහුගේ එකම වීරයා තමාමයි.ලෝකයේ හොඳම ආදරවන්තයා තමා බව ඔහු තම නෙත් සිත් ගත් ආදරවන්තිය හට කියයි.
                     
                                 ''කුමට ද උපමා ඉතිහාසේ උන්
                                   ප්‍රේමවන්තයින්ගෙන්..''

ප්‍රේමයට නිශ්චිත ආරම්භයක් හෝ නිශ්චිත අවසානයක් නැත.ඒ සමහර අයගේ සිත් වල පෙම් හැඟීම් ජීවත්ව සිටියදීම මරණයට පත් වන නිසාවෙනි.ඒ ව්‍යාජ පෙම් හැඟීම් වේ.පෙම් සිතුවිලි ඉතාම විචිත්‍රවත් ය.සුපහන් ය.ඒ බව දන්නේ අවංක ප්‍රේමවන්තයින්ම පමණය.සැබෑ ප්‍රේමණීය හැඟීම් වල අවසානයක් දැකිය නො හැකිය.එහි අවසානය මරණය දක්වාම දිව යන්නකි.එම සංකීර්ණ ප්‍රේමණීය මනෝභාවයන් වල ස්වාභාවය වචන වලට පෙරළමින් ඉතා අපූරු ලෙස කාව්‍යාත්මකව රචකයා ගීතයේ අවසන් පැදි පෙළෙන් විදහා දක්වයි.

''ඉමක් කොනක් නැති ආකාසේ
තරු පායා එන සේමා..
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ
පෙම් සිතුවිලි බෝමා..''

මෙම ගීතය සිංහල ගීත සාහිත්‍යයේ දී අපට හමුවන ප්‍රේමයේ සැබෑ අර්ථය පරිග්‍රහණය කර ගත්ත ගීතය ලෙස හඳුන්වන්නේ නම් වඩා නිවැරදි ය.
----
සමීර සම්පත්. 

No comments:

Post a Comment