Saturday, November 1, 2014

රළ පෙරළිය (කෙටි කතාව)

රළ පෙරළිය (කෙටි කතාව)
-------------------------------------
එය දසුන්ගේ ජීවිතයේ සුන්දරම කාලය ලෙසයි ඔහුට දැනුනේ.එනම්,උසස් පෙළ ලියා අවසන් කර ගෙදරට වෙලා ඉන්න කාලය.තව විදියකින් කීවොත් විභාග මානසිකත්වයෙන් මිදී නිදහස් මානසිකත්වයෙන් පිරිණු කාලය.දසුන්ට එය එසේම විය.ඒ කියන්නෙ ජීවිතය සහ අනාගතය ගැන සමහරු වැඩියෙන් හිතන කලය.සමහරු අඩුවෙන් හිතන කාලය.ඒ කියන්නෙ ජීවිතය හරිගස්ස ගන්නත්-වරද්ද ගන්නත් පුළුවන් කාලය කීවොත් හරි.
ලා හිරු පායපු හිමිදිරියේ අම්මා උණු-උණු වේ හදල දුන්න තේ එකත් අතේ ඇතිව පුටු සැටියට බර වුණු දසුන් රිමෝට් එක අතට ගෙන ටී.වී එකේ විකාශනය වන රූපවාහිනී නාලිකා එකින් එක මාරු කර කර බලන්නට වූයේ තමාට රිසි වැඩසටහනක් නෙත ගැටෙනා තෙක් ය.ඒ අතර ඔහුගේ නෙත සහ අත නතර වූයේ 'රසවාහිනී' නාලිකාවේ විකාශනය වෙමින් තිබූ 'පුවත් පත් විත්ති' වැඩසටහන අභියසය.දවසේ පුවත් පත් වල ප්‍රධාන පුවත් සහ විශේෂ පුවත් සියල්ල පාහේ එම වැඩසටහන ඉදිරිපත් කරන්නා විසින් ප්‍රේක්ෂකයින්ට ප්‍රකාශ කර සිටියි.
රටේ දේශපාලනය ගැනවත් -ආර්ථිකය ගැනවත්-සමාජය ගැනවත් වැඩි තැකීමක් නො තිබුනත් දසුන්ට එම වැඩසටහන ඉඳහිට බැලීම පුරුද්දක් වී තිබුණි.වැඩසටහන් නිවේදකයා විසින් ඊළඟට කියවන්නට වූයේ 'දවස' පුවත් පතේ වාර්තා කර තිබූ පුවතකි.එහි සඳහන් වී තිබුනේ සංචාරක අමාත්‍ය වරයා විසින් පේර දිනයේ රැළියක දී කරන ලද ප්‍රකාශයකි.
''මේ රටේ තිස් අවුරුද්දක් තිස්සෙ තිබ්බ කුරිරු යුද්දෙ අපි ඉවර කරා.දැන් අපි ඉදිරියේ තිබෙන ඊළඟ අභියෝගය තමයි මේ රට සංවර්ධනය කිරීම.මේ වාගේ ස්වාභාව සෞන්දර්යයෙන් යුක්ත ලස්සන රටක් මේ ආසියානු කලාපයේම නැතුව ඇති.ඒක නිසා මේ රට සංවර්ධනය කරන්න පුළුවන් ප්‍රධාන සාධකය විදියට මම දකින්නේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම.අතිගරු ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ ඒ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.එතුමාගේ ආශිර්වාදය අපිට නිරතුරුවම ලැබෙනවා කියලා මේ අවස්තාවේ දී මම ඉතා ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටිනවා.''
ඒ එක්කම ඊළඟ පුවත ද 'දවස' පත්තරේම පළ වූවකි.එහි සඳහන් වී තිබුනේ විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම් කරු විසින් කරන ලද්දකි.
''පහුගිය ආණ්ඩු වලින් කර ගෙන ආපු අධ්‍යාපනය කප්පාදු කිරීමේ වැඩපිළිවෙල,මේ ආණ්ඩුවෙනුත් දිගටම කරගෙන යන බවක් තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ.එදා අය-වැයෙන් වෙන් කරපු 6% යේ ප්‍රතිශතය අද වන විට 2% ටත් වඩා පහළ මට්ටමක ට බැහැල.අපි අහන්නෙ මේක ද නිදහස් අධ්‍යාපනය කියල කියන්නෙ?.''
දසුන්ට වැඩි වේලාවක් වැඩසටහට බලන්නට පුළුවන් වූයේ නැත.ඒ ඔහුගේ හොඳ ම මිතුරන් දෙදෙනා වන සහන් සහ සුරංග හදිස්සියේම ඇවිදින් අඬගසන්නට වූ බැවිනි.
''කළු මල්ලී....'' යි කියා සහන් ගේ කෑගසන හඬ දසුන්ට ඇසුනේ ය.
අතේ තිබුන තේ එක මේසෙ උඩ තියා..සරමත් හරි-බරි ගස්සගෙන දසුන් එලිපැත්ත දෙසට යන්නට විය.ඔවුන් පැමිණ සිටියේ ත්‍රී රෝද රතයකිනි.
''විගහට වරෙං....අමල් අයියාගේ අලුත් රෙස්ටුරන්ට් එක ඕපන් කරනවා..වරෙං යන්න..''යි
සහන් කීවේ ය.
''පොඩ්ඩක් හිටපන්..ඇඳුමක් දාගන්නකන්..''යි කියා දසුන් ඉක්මනට ගේ ඇතුලට ගියේ ය.
ඒ අතර සුරංග ඔවුන් පැමිණි ත්‍රී රෝද රථය නැවත පණ ගැන් වූ වේ ය.ටික වේලාවකට පසුව මකුළුවේ පිහිටි දසුන් ගේ නිවසේ සිට උණවටුනේ යද්දෙහිමුල්ල වෙරළ තීරයේ පිහිටි අමල් අයියාගේ අලුත් රෙස්ටුරන්ට් එක වන 'ෆන් රෙස්ට්' රෙස්ටුරන්ට් එක බලා ඔවුන්ගේ ත්‍රී විල ය ඉගිල්ලුනේ ය.
ඔවුන් එතනට යන විටත් ආරාධිත අමුත්තන් විසින් එය විවෘත කර හමාර ය.ඔවුන් රස කැවිලි කමින් සහ තේ බොමින් සිටියෝ ය.එහි සිටි ප්‍රධාන ආරාධිතයා යැයි සැලකිය හැකි පුද්ගලයා වෙන කව්වුරුත් නොව ප්‍රාදේශීය සභාවේ සභාපති බව දසුන්ට හඳුනා ගන්නට වැඩි වෙලාවක් ගියේ නැත.ටික වෙලාවකට පසු කැවිලි කා තේ බී අවසානයේ පුටු වලින් නැගී සිටි ආරාධිත පිරිස අමල් අයියාට සුභ ප්‍රාර්ථනා කර රථ වලට නැග පිටත් වුනෝ ය.
''දැන් ද බන් උඹල එන්නේ..ගිහින් අර රංග අයියාට පොඩ්ඩක් උදව් වෙයල්ලා..''යි තරුණයින් තිදෙනා දෙස බලමින් කියූ අමල් අයියා බියර් කේස් ගෙනාපු ත්‍රී රෝද කරුවෙකුට සල්ලි ගෙවන්නට ගියේ ය.
රංග පැත්තක ගොඩ ගසා තිබූ බීච් සන් බෙඩ් තවත් කෙනෙකු සමග එකතු උස්සා ගෙන ගොස් වැල්ලේ පිළිවෙලකට තබමින් සිටියේ ය.දසුන්,සහන් සහ සුරංග ද ඔවුන්ට එක් වී ගොඩ ගසා තිබුණු සන් බෙඩ් එකින් එක අරගෙන ගොස් වෙරළ තීරයේ දිගට තබන්නට විය.
සැප්තැම්බර් මාසයේ සංචාරක අසිරිය විදහා පාමින් විශාල විදේශික පිරිසක් උණවටුන වෙරළ තීරය ආක්‍රමණය කොට ගෙන තිබුණි.පැමිණ සිටින විදේශිකයින් පිරිස දකින විට මෙය ඔවුන්ගේ රටක් වැනි ය.ඒ තරමටම උණවටුන වෙරළ තීරය පිරී ඉතිරී ඇත්තේ දේශීය සංචාරකයින්ගෙන් නොව විදේශීය සංචාරකයින් ගෙනි.දේශීය සංචරකයින්ට වඩා විදේශිකයින් මේ වෙරළ තීරයට ආදරය කරන බවක් පෙනෙන්නට තිබුණි.ඔවුන් වෙරළ අසිරිය විඳින ගමන් පරිසරය පිරිසිඳුව තබා ගැනීමට ද වග බලා ගනි යි.
සුරංග බොඩ් ලෑල්ලක් මත දෙපා තබා ගෙන මුහුදු රැළි මත ලිස්සා යන ෂර්පින් ක්‍රීඩාවට ඉතා දක්ෂයෙක් විය.ඔහු සතුව ෂර්පින් බෝඩ් දෙකක් තිබුණි.ෂර්පින් බෝඩ් එකක් නොමැති විදේශිකයකු බොහෝ විට මුණගැසෙන්නේ සුරංගව ය.ඔහු සමහර වෙලාවට විදේශිකයින් සමග ෂර්පින් ක්‍රීඩා කරන විට ඔවුන්ටත් වඩා දස්කම් පෙන්වයි.විදේශිකයින් සමග ෂර්පින් ක්‍රීඩා කිරීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශය විය.
සහන් වැඩියෙන්ම කැමති වුයේ කළු මාම ගේ ග්ලාස් බෝට්ටුවේ ඔහුත් සමග විදේශිකයින්ව මුහුදු පතුලේ ඉන්න ලස්සන මළු බලන්නට එක්ක යාමට ය.ඉඳ හිට සුදු මාමාගේ මාළු අල්ලන බෝටුවේ ගොසින් ඔවුන් සමග මාළු අල්ලාගෙන ඒ මට ද ඔහු පුරුදු වී සිටියේ ය.දවසක් කාළු මාමා නොමැති වේලවක ඔහු ග්ලාස් බෝට්ටුවෙන් විදේශික පිරිසක් මුහුදු පතුලේ මාළු බැලීමට එක්ක ගියේ ය.ටික වේලාවකට පසු හදිස්සියේම මුහුදු රැල්ලක් සමග ඇති වූ ගැස්සීමකින් බෝට්ටුවත් එහි සිටි පිරිසත් පෙරළුණි.වහා ක්‍රියාත්මක වුණු තවත් බෝට්ටුවක පිරිසක් ඇවිත් මුහුදේ පාවී-පවී සිටි පිරිසව බේරා ගන්නා ලදි.එය සහන් විදේශිකයින් පිරිසක් සමග තනියම මුහුදු ගිය පළමු සහ අවසාන අවස්ථාව විය.
දසුන් දැනගෙන සිටියේ මුහුදේ පීනන්නට පමණකි.ඔහු වැඩි පුර ගැවසුනේ රෙස්ටුරන්ට් එකේ ය.එහි පැමිනෙණ සංචාරකයි ඇනවුම් කරන ආහාර පාන ආදිය ඔවුන් සිටින ස්ථාන වලට ගොස් ලාභා දීම ඔහුට ප්‍රිය විය.ඒ සමහර අවස්ථා වල දී විදේශිකයින්ගෙන් ඔහුට යම්කිසි සන්තෝසමක් ලැබෙයි.සමහරු රුපියල් පනහක් සියයක් ලබා දෙයි.එක සුද්දෙක් තමා සතු සන් ග්ලාස් එකක් ලබා දුන් විට ඔහු වඩා සතුටට පත් විය.දවසක් ජර්මන් සුද්දියො දෙන්නෙක්ට ලෙමන් ජූස් දෙකක් ලබා දීමට ගිය විට ඒ අතර සිටි මැදි වියේ යැයි සිතිය හැකි එකියක් ඔහුගේ කලු හමින් යුතු ශරීරය දෙස කෑදරව බැලූ හැටි ඔහුට කවදා වත් අමතක වෙන්නේ නැත.
සෑම සිකුරාදා දිනයක් ම 'ෆ්න් රෙස්ට්' එකට පැමිනෙණ සංචාරකයින්ට ඉතා විශේෂ දවසක් විය.එයට හේතුව එදින රාත්‍රි යේ දී එහි ඩී.ජේ පාටියක් පැවැත් වීමයි.රාත්‍රී 9 ට පටන් ගත්තාම සමහර දවස් වල පහුව දා උදේ 9.30 පමණ තෙක් එය පැවැත් වෙයි.ඒ විදේශිකයින් වැඩියෙන් සිටින දවස් වල ය.ඇතුල් වීම සඳහා විදේශිකයිගෙන් මුදලක් අය කරන්නේ නැත.ඔවුන්ට වියදම් වූයේ කෑම වලට සහ බියර් වලට පමණ ය.නමුත් දේශීය කෙනෙකුගෙන් ඇතුල් වීමට රු.1500ක් අය කරයි.එයට හෙතුව පහු ගිය දවස් වල පැමිණි දේශීය පුද්ගලයින්ගේ නො මනා හැසිරීම් නිසා ය.දැන් මුදල් ගෙවා පැමිණෙන්නේ මනා ලෙස හැසිරෙන ධනවත් ස්වදේශිකයින් පමණි.
දවසක් රාත්‍රියේ දී සුද්දෙක් සමග ටේබල් එකක බියර් බොමින් සිටි සිංහල කෙල්ලෙක් දසුන්ගේ නෙත ගැටුනි.ඔහුට ඇයව කොහේ දී හෝ දැක පුරුදු ය.ටික වේලාවක් යන විට ඔහුට හරියටම මතක් විය.ඇය පාසල් යන අවධියේ දී සමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගත් සිසුවියකි.සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු ඇය පාසල් අවේ නැත.එදායින් පසු ඇයව ඔහු දැකපු පළමු අවස්ථාව මෙය විය.ඇය ළඟට ගොසින් කතා කිරීමට සැරසෙත්ම පැමිණ සිටි සුද්දත් සමග ඇය පිටත් වූවා ය.
වෙරළේ දී මුණ ගැසෙන සමහර සුද්දන් දසුන්ගෙන් ගංජා-කුඩු-ටැබ්ලට් වැනි දෑ සොයා ගැනීමට හැකි දැයි විමසූ වාර ගණන අනන්තය.බඩු තියෙනවනම් මුදල කීයක් උනත් වියදම් කර ගැනීමට ඔවුන් සූදානම් ය.දවසක් අඩු ගානකට සුරංගට ගංජා පැකට් හතරක් හමු වී තිබුනි.ඔහු එයින් දෙකක් සුද්දෙකුට වික්කේ ඉතා වැඩි ගානකට ය.ඊට අමතරව ඔහු ත්‍රී වීල් හයර් දිවී ම පුරුද්දක් කරගෙන සිටියේ ය.ඒ සමහර අවස්ථා වල දී විදේශිකයෙක් හමු වූ විට සමාන්‍යයෙන් දේශීය පුද්ගලයකුගෙන් ගන්න ගාන වගේ දෙ ගුණයක් ඔහු විදේශිකයාගෙන් අය කරයි.එය මේ පළාතේ සෑම ත්‍රී වීල් කරුවෙකු කරන සුලභ දෙයකි.
දවසක් සිකුරාදා රෑ ඩී.ජේ පාටිය පැවැත්වෙමින් තිබිණි.වෙලාව රෑ 10 ට පමණ ඇත.දසුන් වැල්ලේ ගාල් කර තිබූ ඔරුවක් අසල වාඩි වී සිටියේ ය.ඩී.ජේ එක ගහන තැන තරුණ සුද්දියෝ තිදෙනෙක් සහ තවත් සුද්දො දෙන්නෙක් නට නට ඉන්නවා ඔහුට දුරට පෙනුණි.රෙස්ටුරන්ට් එකේ වැඩ කරන උදවිය යුහුසුළුව සංචාරකයින්ට අවශ්‍ය අහාර පාන ආදිය ලබා දෙමින් සිටියෝ ය.ඔහු තම කලින් සාක්කුවේ තිබුණ සිගරට් පැකට් එකෙන් එකක් ගෙන පත්තු කරගෙන උරන්නට විය.
ටික වේලාවකට පසු සුරංග ද ඔහු අසලට ඇවිත් වැල්ලේ හිඳගෙන සාක්කුවේ තුබුණු ගංජා පැකට් එකකුයි කාලා ඉවර වෙච්ච චොකලට් එකක ඊයම් කොලයකුයි එලියට ගත්තේ ය.සිගරට් දුම් පිට කරමින් දසුන් ඒ දෙස නිසොල්මනේ බලා සිටියේ ය.ටික වේලාවකින් සුරංග ගංජා සුරුට්ටුවක් සෑදුවේ ය.ඉන් පසුව දෙදෙනාම ගංජා සුරුට්ටුව මරුවෙන් මාරුවට උරමින් සිටින විට සහන් සුද්දෙක් ටිකක් බීලා ඉවර වෙච්ච විස්කි බෝතලයක් රැගෙන ආවේ ය.ටික වේලාවක් යන විට ති දෙනාම ගංජා-සිගරට්-විස්කි වලින් මත් වී ඔරුවට වාරු වී සිටියෝ ය.පොල් ගහක් බදා ගෙන සුද්දියෙක් වමනය කරන හැටි දසුන් ට බොඳ වී පෙනෙන්නට විය.
ඒ අතර බියර් බෝතල් දෙකක් අතින් ගත් සුද්දියෝ දෙදෙනෙක් ඔවුන් අසලට පැමිණියෝ ය. සුරංග ට හොඳටම නින්ද ගොසින් ය.එක සුද්දියෙක් තමන්ගේ කලිසමේ බොත්තම් ගලවා ශිප් එක අරින බව දසුන්ට දැනෙන්නට විය.අනිත් සුද්දි සහන් දෙසට හැරුනේ ය.එලෙසින් බමන මත් වූ රත්‍රි ය සරාගීව පහන් වන බවක් දසුන්ට දැනෙන්නට විය.
පැයෙන් පැය දවසින් දවස සතියෙන් සතිය කාලය ගෙවී යයි.දසුන් දැන් උසස් පෙළ ලියා අවසන් කර මාස හතරක් පමණ ගෙවී ගොස් ය.ඔහු දැන් ඉඳහිට ගෙදර යන්නේ සමහර දවස් වල රෑ වෙලා ය.සමහර දවස් වල දවල් ය.කෙසේ හෝ ඒ ගියත් වැඩි වෙලා ගෙදර ඉන්නේ නැත.මකුළුදූවේ නිවසත් යද්දෙහිමුල්ලේ 'ෆ්න් රෙස්ට්' එකත් දෙකක් නොව එකක් ලෙස ඔහුට දැනෙන්නට විය.
---------------------------------
සමීර සම්පත්

No comments:

Post a Comment