Saturday, November 1, 2014

ආදරෙත් එක්ක විස්කි (කෙටි කතාව)

ආදරෙත් එක්ක විස්කි (කෙටි කතාව)
--------------------
උසස් පෙළ කරන කාලෙ ඉඳන් අපේ සෙට් එකට හිටපු පට්ට ෆිට් කෙල්ල තමයි තාරුකා කියන්නෙ.අපේ සෙට් එක කිව්වම රංගනයි,සචිත්‍රයි,භානුකයි,තාරුකායි,මමයි ගත්තම අපි ඔක්කොම පස් දෙනයි.ඒ කිව්වෙ අපිට ඊට වඩා යාළුවෝ හිටියෙ නෑ කියල නෙමෙයි.ඒ අතරිනුත් අපිට අපිව දැනුනේ දුකේ දිත්-සැපේ දිත් ළඟම හිටිය සැබෑ යහළුකමේ කෝශාර්ථයෙන්ම යහළුවන් සේ සිටින යහළුවන් හැටියට යි.

පෙර ආත්මයේ ඉඳන් පතා ගෙන ආපු පිනකටද මන් දන්නෑ අපි පස් දෙනාම කැම්පස් සෙට් වුණා.දැන් අපි කැම්පස් එකෙන් අවුට් වෙලත් ගොඩක් කල්.ඊයේ තමයි තාරුකා යුග දිවියට පිවිසුණු දවස.අද තමයි හෝම් කමින් එක.තාරුකා බැන්ඳෙ සදේශ් වික්‍රමාරච්චි කියන මිත්‍රයාව.තාරුකාට සදේශ් ව සෙට් වුණේ නීති පීඨයේ දි.අපිට සෙට් වුණේ ශාස්ත්‍ර පීඨය.තාරුකයි අපියි පීඨ වලින් වෙන් වුණාට යහළුකමින් වෙන් වුණේ නෑ.හබැයි තාරුකා තරම් සදේශ් අපිට ෆිට් වෙලා හිටියෙත් නෑ.

කොහොම හරි කාලා-බීලා නටල කරල,මනමාලිටයි මනමාලයටයි සුභ පතල ගෙදර එන්න සෙට් වුනෙත් කලින් සෙට් වෙලා ආපු විදියටම සචිත්‍රයගෙ කාර් එකේ.අපි හොටෙල් එකෙන් එළියට එනකොට වෙලාව රෑ 11ට විතර ඇති.පිටිපස්සෙ ශීට් එකේ මමයි,භානුකයි.ඉස්සරහ රංගනයා.සචිත්‍රයා කාර් එක ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා.ගල්කිස්ස බස් ස්ටෑන්ඩ් එක පරෙන් දාලා ගාලු පාරේ ටික දුරක් ගිහින් සචිත්‍රයා එකපාරම පාරේ අයිනට කරල කාර් එක නැවත්තුවා.

''ඇයි බං..'' රංගනයා ඇහුවා.

''බීච් එකේ යාළුවෙක්ගෙ රෙස්ටුරන්ට් එකක් තියෙනවා.එතනට ගිහිල්ල සෙට් වෙමු ද?''
සච්ත්‍ර ඇහුවා.

''ඇයි බං දැන් මෙච්චර බී පුවා මදි ද?''මං ඇහුවා.

''ඔව් බං..,හෙට ඉරිදා විතරයි දවසෙම ගෙදර ඉන්නෙ.දැන් මහන්සිත් එක්ක.ඔහොම්මම ගෙදර යමං..නිදිමතත් එක්ක.''ශීට් එකට ඔලුව බර කර ගන්න ගමන් ඇස් දෙක පියාගෙන භානුක කිව්වා.

''හොඳට හිතල බලපන් මචං..අපි ඔක්කොම සෙට් වුණේ මේ කාලෙකින්.ඒකත් තාරුකාගෙ වෙඩිං එක නිසා..සඳුදා ඉඳන් අයිත් වැඩට යන්න පටන් ගත්තම කවදා සෙට් වෙයි ද දන්නෙ නෑ..'' සචිත්‍ර කිව්ව.

''ඒක තමයි බං..වෙඩිං එකේ දි එච්චර බිව්වෙත් නෑ,වෙරි වෙලා චාටර් වෙයි කියලා.දැන් යමන්,ගිහින් කුඩු වෙන්න ගහමු.'' ආතල් හිනාවක් දාගෙන රංගනයා කිව්වා.

''මොක ද කියන්නේ..'' සචිත්‍රයා අපේ පැත්තට හැරිලා ඇහුවා.

''හරි එහෙනම් යමං..'' යි මං කිව්වා.

''භානුක..?'' යි සචිත්‍ර භානුක ගෙනුත් ඇහුවා.

''අව්ලක් නෑ..'' යි නිදිකිරමින් භානුකයා කිව්වා.

ටික වෙලාවකින් උසාවියගාව පාරෙන් දාලා ගල්කිස්ස බීච් එක ගාවට අපි ආවා.වෙඩිං එකේ දි බීපුවා පමනට වදින්න පටන් ගත්තෙ මුහුදු හුළඟෙ වැදි-වැදී බීච් එකේ ඇවිදින කොට.විනාඩි පහක් යන්න කලිං රෙස්ටුරන්ට් එක තියෙන තැනට අපි ආව.

''උඹලා පොඩ්ඩක් වාඩි වෙලා හිටපන්,මන් ගිහිල්ල එන්නම්'' කියල සචිත්‍ර යාළුවා ව හම්බ වෙන්න ගියා.

අපි ඇරෙන් එතන හිටියේ අන්තිමට අස්-පස් කරන වෙටර් කොල්ලො ටිකක් විතරයි.ටික වෙලාවකට පස්සෙ සචිත්‍රයයි යාළුවයි ආවා.සචිත්‍රගේ අතේ ග්ලාස් හතර.යාළුවගේ අතේ ස්කොච් විස්කි බෝතල් දෙකක්.

''උඹලට මේ දෙක මදි වුනොත් කියපන්,තව දෙකක් ඇතුලේ ඉතුරු වෙලා තියෙනවා.බඩු ඉවරයි බං.මං වැඩිය ලිකර් ගෙන්නෙ නෑ මචං.මොක ද ලයිසන් නෑනෙ.'' යාළුවා බෝතල් දෙක ටේබල් එක උඩ තියෙන ගමන් කිව්වා.

''ඒකට අව්ලක් නෑ..ඇයි උඹ සෙට් වෙන් නැද්ද..?'' රංගන ඇහුවා.

''බෑ මචං..මට පොඩි වැඩ වගයක් ඉතුරු වෙලා තියෙනවා..''

ඒත් එක්කම වේටර් මල්ලි කෙනෙක් ඇවිල්ල ඔම්ලට් බ්යිට් පිඟානක් ටේබල් එකෙන් තිබ්බ.ඊට පස්සෙ අපි හතර දෙනා සව්දිය පුරන්න පටන් ගත්ත.

''පළවෙනි ෂොට් එක තාරුකා ගේ වෙඩින් ලයිෆ් එක වෙනුවෙන්'' කියලා සචිත්‍රයා කියන ගමන් වීදුරු හතර එකිනෙක ගැටුනා.

ඒ විදියට බොන්න පටන් අරන් පැයක් විතර ගෙවිලා ගියා.භානුකට ටිකක් විතර වෙරි.රංගනය නම් රැල්ලෙ නො නවත්වා ටික ටික බොනවා.සචිත්‍රයටත් මද පමනට වැදිලා හිටියෙ.මටත් පොඩ්ඩක් විතර.හමා එන මුහුදු හුළඟ ට මද පමන වැඩි පමනට පෙරෙලන බවක් දැනුන.

''දන්නව ද මං උඹලට බොන්න අඬගැහුවෙ ඇයි කියලා..'' සචිත්‍රයා කිව්වා.

''නෑනේ..''රංගනයා හිනා වෙ වී කිව්වා.

''හිතේ දුකට බං..''

''ඒ කිව්වේ '' මං ඇහුවා.

''තාරුකා බැන්ඳ දුකට..''

''තාරුකා බැන්ඳ දුකට උඹ දුක් වෙලා හරි යනව ද බං..ඒකි ගෙ අම්මයි තාත්තයිත් හොඳට හිනා වෙලා හිටියා'' භානුකයා කිව්වා.

''උඹලා දන්නෙ නැති උනාට මං ඒකිට ඇත්තටම ආදරේ කරා බං..'' කියල සචිත්‍රය කිව්වා.

''නෑ..හත්තිලව්වයි..පොඩ්ඩක් ඉඳපන් මන් ඒකිට කෝල් එකක් අරගෙන කියන්න..'' යි කියලා රංගනයා වෙරි මර ගාතෙ ෆෝන් එක සාක්කුවල හොයන්න පටන් ගත්තා.

ඌ ෆෝන් එක අතට ගත්තු ගමන් 'මේ දීපන් කියල' මං උදුරල ගත්තා.වෙරි නිසාම ඌට ඒක ගානක් නෑ.ඒ ගමන් ම ඌ තව ෂොට් එකක් වීදුරුවට දා ගත්ත.

''උඹ දැන් ද ඕක කියන්නෙ..එහෙම නම් ඒකි ට කලින්ම කියන්න තිබ්බනෙ.'' භානුකය වීදුරුව මේසෙ උඩ තියන ගමන් කිව්ව.

''අහන්න හිටපු දවසෙ තමයි බං..අපි ගාවට ඇවිල්ල එදා ඒකි කිව්වෙ සදේශ්ට කැමැත්ත දුන්න කියලා''

''හරි දැන් ඉතින් පෙර හැර ගියාට පස්සෙ බලන් ඉඳලා වැඩක් නෑනෙ.දැන් ඒකි ගැන හිතන එක නවත්තපන්.'' යි මං කිව්වා.

එහෙම කියද්දිම ඌ තව විස්කි ටිකක් වීදුරුවට දා ගත්ත.බයිට් එකෙන් ටිකක් අරගෙන රංගනයා පුටුවෙන් නැගිටලා බීච් එක පැත්තට ගියා.ටික වෙලාවකට පස්සෙ භානුකත් වැනී වැනී බීච් එක පැත්තට ගියා.

''මට දැන් ලොකු දුකක් නෑ බං..ඒ ලෙවෙල් කාලෙ ඉඳන් හිතේ තියන් ඉඳපු දේ උඹල ඉස්සරහා කියන්න ලැබුණා.දැන් මගේ ඔලුවට අමුතු නිදහසක් දැනෙනවා.හැබැයි මං මැරෙනකම්ම තාරුකාට ආදරෙයි.හැබැයි එයා මේ ආත්මෙදි සදෙශ්ගේ වුණාට,ලබන ආත්මෙ දි මං එකීව ඌට දෙන්නෙ නෑ..'' කියලා සචිත්‍රයා අතේ තිබ්බ විස්කි වීදුරුව එක උගුරට හිස් කරා.

''එහෙම හිතන එක හොඳයි..'' කියල අන්තිම බොතලේ තිබ්බ අන්තිම විස්කි ටිකත් වීදුරුවට දාගන්න ගමන් මං කිව්ව.

''අපිත් යමු අරුන් ඉන්න තැනට'' යි කියල සචිත්‍රය පුටුවෙන් නැගිට්ට.

''යමන්..''කියල පේපර් සේවියට් එකකින් කට දෙපැත්ත පිහදා ගන්න ගමන් මමත් පුටුවෙන් නැගිට්ට.

අපි එතනට යන කොට භානුකයි රංගනයි වැල්ලෙ වාඩි වෙලා මුහුද දිහා බලගෙන මොන මොනව ද කියව කියව හිටියා.අපිත් උන් ළඟින් වාඩි වුණා.රංගනයට හොඳටම වෙරි වැඩි වෙලා ද කොහෙද.ඌ අමාරුවෙන් හඬ නගමින් ඈත මුහුදේ යාත්‍රා කරන නැව් ගණන් කරනවා.

''එකායි...දෙ කායි....තු නායි....''

නිමි
---------------------
සමීර සම්පත්.

2 comments:

  1. කතාව සුපිරි.මොකද්දෝ බරක් හිතට ගෙනාව.දිගටම යමු.

    ReplyDelete