-----------------
මා කටුනායක ගුවන් තොටුපලෙන් එළියට එන විට හිරු අවරට යමින් තිබුණි.නො සිතූ ලෙස වර්ෂාවක පෙර නිමිති පෙන්වමින් සිහින් වැහි පොද මහ පොළවට පතිත වෙමින් තිබුණි.මා ගමන් මල්ලත් අතින් අල්ලා ගෙන බලා සිටියේ කලින් වෙන් කරවා ගත්ත ටැක්සිය පැමිණෙන තෙක් ය.ටික වේලාවකට පසු වේගයෙන් පැමිණි ටැක්සියක් කොරිඩෝව අසල නතර කෙරිණි.එහි සිටි රියදුරා සමග කතා කිරීමෙන් පසුව එය මා හට වෙන් කරවා ගත් ටැක්සිය බව දැන ගත්තෙමි.
අනතුරුව පැපිළියානේ පිහිටි මගේ නිවස බලා ගමන කෙරිණි.මෙතෙක් වේලා පැවති වැහි පොද ගතිය ටික ටික වැඩි වෙන බවක්, ජනේල වීදුරුව මතට පතිත වන වැහි බිඳු වලින් පෙනුණි.සීදුව නගරය පහු කරනවාත් සමගම පොද වැස්ස මහ වැස්සක් බවට පත්වුණි.කොහුවල නගරයට ලඟා වන විට වැස්ස තරමක් තුරල් වෙමින් පැවතුණි.
''තේ කඩයක් ගාව පොඩ්ඩක් නවත්තන්න'' යි මම රියදුරාට කීවෙමි.
''හොඳයි සර්..''
ටික වේලාවකට පසු පේස්ට්‍රි ෂොප් එකක් ගාව රියදුරා වාහනය නතර කළේ ය.මම වාහනයෙන් බැස කඩය ඇතුලට ගියෙමි.ඇතුලට යන විට එක් මේසයක් ගාව වඩි වී සිටි කාන්තාවක් මාගේ නෙත ගැටුණි.මා මොහොතකට නැවතී නැවත ඇය දෙස බැලුවෙමි.මොන තරම් අහම්බයක් ද,ඒ වෙන කවුරුත් නොව මා පාසල් කාලයේ පෙම් කළ ආදරවන්තිය යි.මා ඇය දෙසට යන විට ඇය ද මාව දුටුවා ය.
පුදුමයට පත් වූ දෑසින් ඇය බලා සිටියා ය.
''හිමංසා....'' යි මට කියැවිණි.
''අරෝෂ්....'' යි ඇයට ද කියැවිණි.
''ඔයාව දැක්ක කල්..කොහේ ද මෙච්චර කල් හිටියෙ..ඔතනින් ඉඳගන්න..දැන් මොනව ද කරන්නෙ..''යි ලෙස ඇය පුදුමයට පත් වූ දෑසින් යුතුව කියාගෙන ගියා ය.
මම අසල පුටුවේ වාඩි වූ වෙමි.
''ඔයාට කොහොම ද..'' යි මට ද කියැවුණි.
''මම හොඳින් ඉන්නව..ඔයා කොහෙද මෙච්චර කල් හිටියෙ..''
''මම..මම දැන් ඉන්නෙ ලන්ඩන් වල..ඒ දවස් වල.. අම්ම.. මුලින් කීවට.. මට එහේ යන්න ඕන වුනේ නෑ..ඒත් ඒ කාලෙ.. වුන ප්‍රශ්න වල හැටියට.. මට තව දුරටත් මෙහේ ඉන්න ඕන වුනේ නෑ..''
''ඒවා දැන් මතක් කරන්න එපා අරෝෂ්..ඒක අපේ ඉරණම වෙන්න ඇති..අවුරුදු පහලවකට පස්සෙ හරි ඔයාව දකින්න ලැබුණු එක ගැන මට සතුටු යි.ඒක නෙවෙයි මොනව ද දැන් කරන්නෙ.''
''කේම්බ්‍රිච් වුනිවර්සිටි එකේ ආචාර්ය උපාධි ය ගත්තට පස්සෙ මට ඒකෙම ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන් වුණා.තාමත් වැඩ කරන්නෙ එතන.අන්තිමට ලංකාවට ආවෙ මීට අවුරුදු දහයකට කලින්.ඒ ඇවිල්ලත් හිටියෙ සතියක් විතර.දැන් ආවෙත් විශේෂ වැඩකට.හෙට කොළඹ විශ්වවිද්‍යාලයෙ විශේෂ දේශනයකට එන්න කිව්ව.ඒක ඉවර කරල හෙට රෑම අයිත් යනව''
''ඇයි ඒ..''
''එහේ කරන්න ගොඩක් වැඩ තියෙනව..ඔයාගෙ විස්තර කොහොම ද ඉතින්''
''මං මැරි කරේ කැමැත්තකින් නෙවෙයි..තාත්තගෙ බලේට තමයි රොමේෂ්ව මැරි කරන්න වුනේ..හැබැයි අද වෙනකන් එයාගෙන් වරදක් වෙලත් නෑ..එයා ලෝයර් කෙනෙක්. එක දුවයි ඉන්නෙ..නම තත්සරණි..එයාගෙ ක්ලාස් එක ඉවර වෙන කම් ඉන්නෙ තව ටිකකින් ගන්න යන්න..ඉතින් ඔයා මැරි කරේ කාව ද..''
''මං තාම මැරි කරේ නෑ..''
''ඇයි ඒ..''
''මගේ හිතෙ ඉන්නව එක්කෙනෙක්..මට ඒ වගේ කෙනෙක් තාම හමු වුනේ නෑ..''
''ඒ වුනාට මං කැමති නෑ ඔයා තනිකඩව ඉන්නව දකින්න..''
''ඒවා කාලයට අනුව විසඳේ වි..හරියට අවුරුදු දාහතරකට විතර පස්සෙ අපි දෙන්න මුණ ගැහුන වගේ..ඒක නෙවෙයි හිමංසා මට තව ඉන්න වෙලා නෑ..මං එහෙනම් යන්න ද..''
''හ්ම්..පරිස්සමින් යන්න අරෝෂ්..ඔයාගෙ හැම වැඩක්ම හොඳට සාර්ථක වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව..''
''ඔයත් හැමදාම සතුටින් ඉන්න කියල මං ප්‍රාර්ථනා කරනව හිමංසා..''
අපි දෙදෙනා මොහොතක් මද සිනා ඇතිව දෑසට දෑස බලා සිටියෙමු.හෙට දිනයේ කරන්නට වැඩ ගොඩක් ඇත.හිමංසාගෙන් සමුගෙන මා ඉක්මණින් ටැක්සිය වෙත ගියෙමි.ගෙවී ගිය මොහොත මාගේ දින පොතේ සුන්දරම මොහොතක් ලෙස ලියැවෙනු ඇත.
-----------
සමීර සම්පත්.
No comments:
Post a Comment